රූකාන්ත - චන්ද්‍රලේඛා නඩුවේ විත්තිකරුවන් 10 ට සිරදඩුවම්.

Thursday, 01 August 2013 - 12:56

%E0%B6%BB%E0%B7%96%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B7%8F+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.

ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්තට සහ චන්ද්‍රලේඛාට හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන්ගෙන් 10 දෙනෙකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද සිරද`ඩුවම් නියම කළා. මෙම නඩුවේ තීන්දුව අද (01) ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 9 දෙනෙකුට වසර හතරහමාර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. මෙම නඩුවේ පස්වන විත්තිකරුට වසර හතරහමාරක ලිහිල් සිරදඩුවම් මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කළේ ඔහු පූර්ණ ආබාධ සහිත තත්ත්වයේ පසුවීම සැලකිල්ලට ගෙනයි.

ඊට අමතරව, මෙම විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 21,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය එක් අයෙකුගෙන් ලක්ෂ 2 ක බැගින්, රුපියල් ලක්ෂ 20ක මුදලක් රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලට ගෙවන ලෙස ද නියෝග කළා. රුපියල් 21,000 දඩය විත්තිකරුවන් විසින් නොගෙවුවහොත්, තවත් මාස 6 ක ලිහිල් සිරදඩුවමක් පනවන බව ද විනිසුරුවරිය මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම, රූකාන්ත චන්ද්‍රලේඛා යුවලට එක් අයෙකු ලක්ෂ 2 ක බැගින් වන්දි මුදලක් ලබා නොදුනහොත්, තවත් එක් වසරක ලිහිල් සිරද`ඩුවම් පනවන බවයි ඇය කියා සිටියේ. රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලට හිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 7 වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව ද විනිසුරුවරිය ප්‍රකාශ කළා.

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන කියා සිටියේ රට අපකීර්තියට පත් වූ සිද්ධියක් වන රූකාන්ත - චන්ද්‍රලේඛා හිංසා සිද්ධිය ඉහළ බලධාරින්ගේ අනුදැනුම ඇතිව සිදුවූවක් බවට තොරතුරු ලැබී ඇති බවයි. ජනාධිපති ආරක්ෂක ඒකකය පිහිටුවා ඇත්තේ එවකට සිටින ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සැලසීමට බව මෙහිදී විනිසුරුවරිය පෙන්වා දුන්නා. එහෙත්, විත්තිකරුවන් එම රාජකාරි කටයුතුවලින් බැහැරව ගොස් මෙම අපරාධය සිදුකොට ඇති බවටයි ඇය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ.
 
මෙම නඩුවේ තීන්දුව පසුගිය 24 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත්, එය  අද දක්වා කල් දැමුණේ විත්තිකරුවෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්. 2000 වසරේ ජනවාරි 26 වැනිදා රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලගේ මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙනුයි මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ල වූයේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories