හෙද නිලධාරීයා ගසෙන් බිමට, වෙද - හෙද ගැටුම එලෙසමයි.

Saturday, 17 August 2013 - 19:13

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%AF+-+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%91%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.

මහනුවර මහරෝහලේ ආපනශාලාව අසල පිහිටි ගසක් මත නැගී හෙද නිලධාරියෙකු ඊයේ ආරම්භ කළ විරෝධතාවය අද (17) පස්වරුවේ අවසන් වුණා. එම රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර නිළ කාමරයක් සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළුවට සෞඛ්‍ය බලධාරීන් විසින් පෙරේදා ලබාදුන් විසඳුම ඉවත් කර ගන්නා ලෙස බලකරමිනුයි නවරත්න බණ්ඩාර නැමැති ඔහු මෙම විරෝධය ආරම්භ කළේ. කෙසේ වෙතත්, අද පස්වරුවේ රෝහලට පැමිණි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සමග හෙද සංගම් නියෝජිතයන් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව මෙම විරෝධය හෙද සංගම් අවසන් කළේ හෙද නිලධාරී නවරත්න බණ්ඩාරගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව පවසමින්.

මීට මාසයකට පමණ ඉහත දී මහනුවර මහරෝහලේ ශල්‍යාගාරය අසල නිල කාමරයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වුණා. අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹුනු වෛද්‍යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ රෝහල් ශල්‍යාගාරයේ සේවය කළ විනය විරෝධී හැසිරුණු බව කියන හෙදියන් දෙදෙනෙකු වෙනත් අංශයක් වෙත මාරු කර යවන ලෙසයි. සෞඛ්‍ය බලධාරීන් සමඟ පෙරේදා පැවැති සාකච්ඡාවේදී ඒ සඳහා එකඟතාවය පළ කර තිබූ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉන් අනතුරුව වෛද්‍යවරුන් තීරණය කළා. එහෙත් ඊට එරෙහිවයි නවරත්න බණ්ඩාර ගස මත නැග සිය විරෝධය ආරම්භ කළේ.

මෙම ගැටලූව නිරාකරණය කිරීමට මුලින්ම එම ස්ථානයට පැමිණියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ගුණසේකරයි. එහෙත් ඔහුගේ ඉල්ලීම්වලට නවරත්න බණ්ඩාර එකඟත්වයක් පළ කළේ නැහැ. ඒ අනුව, මෙම හෙද නිලධාරියා ඊයේ (16) රාත්‍රිය ගත කළේ ද මෙම ගස මතයි.

මෙම ගැටලූව විසඳීමට ගන්නා පියවර කුමක්දැයි අද පෙරවරුවේ හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකගෙන් විමසා සිටියා. එහිදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s65283_1[/MP3]   

කෙසේ වෙතත්, අද පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා  මහනුවර රෝහල් පරිශ්‍රයට පැමිණියා. ඒ වනවිටත් සියලූ හෙද සංගම් නියෝජනය කරන සාමාජිකයන් බහුතරය රාජකාරිවලින් ඉවත්ව සිටි අතර පසුව ඔවුන් සහ හෙද සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙය පරිපාලන තීන්දුවක් වන බැවින් එය වෙනස් කළ නොහැකි බවයි. එසේම විරෝධතාවයේ යෙදෙන හෙද නිලධාරී නවරත්න බණ්ඩාරට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගැනීමටද ඔවුන් එකඟ වී තිබෙනවා.

එහෙත් මහනුවර මහ රෝහලේ හෙද සංගම් ප්‍රකාශ කරන්නේ තමන්ට නිසි විසඳුමක් නොලැබුණු නිසා හෙට සිට හදිසි සැත්කම් හැර අනෙකුත් ශල්‍යාගාර කටයුතුවලින් ඉවත් වන බවයි. සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු සමස්ත ලංකා හෙද සංගමයේ මහනුවර ශාඛාවේ ලේකම් ප්‍රභාත් පලීපාන.

[MP3]s65283_2[/MP3]

සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක.

[MP3]s65283_3[/MP3]

සාකච්ඡාවෙන් අනතුරුව සහෝදර හෙද නිලධාරීන් විසින් විරෝධතාවයේ යෙදුණු නවරත්න බණ්ඩාර ගසෙන් බිමට බස්වනු ලැබුවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බැවින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ නොහැකි බවයි එම ස්ථානයේ සිටි හෙද හෙදියන් සඳහන් කළේ. කෙසේ වෙතත්, ඔහු ගසෙන් බිමට පැමිණි මොහොතේ එම ස්ථානයේ රැස්ව සිටි හෙද හෙදියන් ඔහු පිළිගත්තේ අත්පොලසන් නාදයකින්.

[MP3]s65283_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories