නවිපිල්ලේගේ ප්‍රකාශය පක්ෂග්‍රාහීයි. - ඇමති ජී.එල්.

Tuesday, 03 September 2013 - 12:44

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.

මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ සිය ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව කළ ප්‍රකාශය අසමබර, වැරදි සහ පක්ෂග්‍රාහී එකක් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී ඊයේ (02) මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ ප්‍රකාශයේ ස්වරය සහ සාරය සැලකූ විට එහි අසමබරතාව පැහැදිලි වන බවයි.

 

යුගෝස්ලාවියාව හෝ කාම්බෝජය වැනි මෙවැනි සිවිල් යුද්ධවලට මුහුණ දුන් රටවල් යළි ප්‍රතිසංස්කරණය වූයේ වසර ගණනාවකට පසුවයි. එහෙත් ශ්‍රී ලංකාව යුද්ධය නිමා වී වසර 4ක කාලයක් තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පෙන්වා දුන්නා. උතුරේ ජනතාවට නව අවස්ථා උදාකරමින් එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය දැනටමත් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වැය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළේ විනිවිදභාවය සහ සැබෑ දර්ශනය ඉලක්ක කර ගනිමින්. ඇයට රටේ  ඕනෑම ස්ථානයක නිදහසේ සැරි සැරීමට අවකාශ ලබාදී තිබුණා. එහෙත් උතුරේ හමුදා බාධාකාරී සහ පීඩනකාරී බවට ඇය කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක්. මෙරට ක්‍රියාත්මක ජගත් සංවිධාන නියෝජිතයාතන මගින් මෑතකදී ගොනු කළ වාර්තා පවා ඇය සැලකිල්ලට ගෙන නැහැ. ශ්‍රී ලංකා භූමියට ළඟාවීමට පෙර සිටම ඇය සිය නිගමනයන්ට එළඹ සිටි බව පැහැදිලි යැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

යුධ හමුදාව උතුරේ දුෂ්කර පරිවර්තන යුගයේ දී එහි ස්ථාවරභාවයට සහ ගොඩනැංවීමට සක්‍රීයව දායක වනවා. එමෙන්ම ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය චාරිකාවේදී එල්.ටී.ටී.ඊ. ය විසින් බලහත්කාරයෙන් පලවා හරින ලද ජනතාව පිළිබද ගැටළුව ආමන්ත්‍රණය කර නැහැ. එල්.ටී.ටී.ඊ.ය විසින් ඔප්පු විනාශ කරන ලද ඉඩකඩම් යළි ලබාදීමේ දී මතුව ඇති ගැටළුව පිළිබදවයි අමාත්‍යවරයා මෙහිදී කරුණු දක්වා ඇත්තේ.

 

ශ්‍රී ලංකාව අධිපතිවාදයක් කරා ගමන් ගන්නා බවට කළ ප්‍රකාශය තහවුරු කිරීමේ සාක්ෂි මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළේ නැහැ. උතුරේ ජනතාව වසර 25කට පසු උතුරු පළාත් සභා මැතිවරණයට සැරසෙන මොහොතකයි ඇය මෙම ප්‍රකාශය සිදුකළේ. උතුරේ ජනතාවට ඔවුන්ගේ පාලනය පිළිබද තීරණ ගැනීමේ අවස්ථාවක් මෙහිදී උදාවනවා. එය අධිපතිවාදයක් කරා යාම දැයි මහාචාර්ය පීරිස් මෙහිදී ප්‍රශ්න කර සිටියා.

 
ලක් රජය යුධ අපරාධ සිදුකළ බවට ඇය කරන චෝදනා පදනම් රහිතයි. එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ආරක්ෂක හමුදා අතින් ජීවිතක්ෂයට පත්වූ වෙල්ලමුල්ලිවයික්කාල් හිදී මල් කළඹක් තැබීමට නවනීදන් පිල්ලේ දැරූ උත්සාහය පිළිබදව ද අමාත්‍ය ජී.එල්. පීරිස් මෙහිදී අදහස් පළ කළා. යුද්ධයේ දී මිය ගිය සියල්ලන් වෙනුවෙන් ඇය වෙනත් ස්ථානයකදී එය සිදුකළේ නම් ඇගේ අභිලාශය ඉටු කර ගත හැකිව තිබුණා. එහෙත් ඇය උත්සාහ කළේ එක් පාර්ශවයක් ගැනීමට බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් ලන්ඩනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories