හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ තීරණය එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් විසින්ම ගනු ලැබූවක් බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. පවසනවා. 2009 වසරේ සැප්තැම්බරයේ දී අත්අඩංගුවට පත්වීමෙන් පසු පුනරුත්ථාපනය ලැබූ කේ.පී. කොටි සංවිධානයේ උච්චතම අවධියේ එහි මූල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළා. ද ඕස්ට්‍රේලියන් පුවත්පතේ විදෙස් පුවත් කතුවර ග්‍රෙග් ෂෙරිඩන් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ඔහු කේ.පී. සමග ද සංවාදයක නිරතවීමට අවස්ථාවක් ලබා ගත්තා. එම සංවාදයේ දී මතු වූ කරුණු ඕස්්ට්රේලියානු පුවත්පත ඊයේ (13) ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි දැක්වෙන පරිදි රජිව් ගාන්ධි ඝාතනය කළ යුතු බවට ප්රභාකරන් තීරණය කර ඇත්තේ ඉන්දීය සාම සාධක හමුදා මෙරටට එවීමත් සමගයි. ඔවුන්ගේ අරමුණ තමා ඝාතනය කිරීම බව සිතූ ප්රභාකරන් ඊට පෙර රජිව් ගාන්ධි ඝාතනය කළ යුතු බවට තීරණය කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ හඳුන්වා දුන් ආකාරය ද කේ.පී. ඕස්ට්‍රේලියානු පුවත්පතට හෙළි කළා. එය ප්‍රභාකරන්ගේම සංකල්පයක් ලෙසයි කේ.පී. හැදින්වූයේ. 1980 දශකයේ මුල් භාගයේ දී කොටි සංවිධානයේ ප්‍රධානීන් අතර පැවැති සංවාදයක් අතරතුර ප්රභාකරන් එම අදහස ඉදිරිපත් කර තිබෙනවා. දෙවන ලෝක යුධ සමයේ බෝම්බ සමග සතුරුබිමට පනිනු ලැබූ කමිකාසේ ජපාන සොල්දාදුවන් පිළිබදව ද එහිදී සාකච්ඡා වී ඇති බව සදහන්. එමෙන්ම තමිල්නාඩුවේ ඇතැමුන් විරෝධය පෑම සඳහා ගින්නට පැන දිවි නසා ගැනීම ද එම අදහස ක්‍රියාවට නැංවීමට රුකුලක් වූ බවයි කේ.පී. ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ නමුත් අවසානයේ දී මරාගෙන මැරෙන බෝම්බ සංකල්පය ඉදිරිපත් කළේ ප්රභාකරන් විසින් බව කේ.පී. හෙළිදරව් කළා.
Follow US
Most Viewed Stories