පාසල් දිවා ආහාරයත් නතර වන ලකුණු.

Sunday, 29 September 2013 - 13:09

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

දුෂ්කර පාසල්වල සිසුන්ට රජය විසින් නොමිලයේ ලබාදෙන දිවා ආහාරය ඇතැම් පාසල්වල නතරවී ඇති බව ගුරු සංගම් පවසනවා. එම ආහාර වේල සපයනු ලබන සැපයුම්කරුවන්ට ඒ සඳහා ගෙවිය යුතු මුදල් නතර කර තිබීම ඊට හේතුව බවයි ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේ. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ඉගෙනුම ලබන පාසල් මෙන්ම මන්දපෝෂණය වැඩි දරුවන් ඉගෙනුම ලබන පාසල්වලට මෙම දිවා ආහාර වේල රජය විසින් ලබාදෙනවා. එවැනි පාසල් 7740 ක සිසුන් දස ලක්ෂ 40 000 කට මෙම ආහාර වේල දිනපතා සපයන බවයි අධ්‍යාපන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

අනුරාධපුරය - ගලෙන්බිදුණු වැව කුරුන්දන්කුලම විද්‍යාලයටද මෙම දිවා ආහාර වේල සැපයෙන අතර එහි ඉගෙනුම ලබන පාසල් සිසුන් සංඛ්‍යාව 110 කට ආසන්නයි. කෙසේ වෙතත් එම සිසුන්ට දිවා ආහාරවේල සපයන කුරුන්දන්කුලම - පුංචිකුලම ප්‍රදේශයේ පදිංචි සමෘද්ධිලාභියෙකු වන ශ්‍රීමතී වසන්තා කියා සිටියේ පසුගිය ජූනි සහ ජූලි මාසවල ආහාර සැපයීම වෙනුවෙන් තමන්ට ලැබිය යුතු රුපියල් 90 000 ක මුදල මේ වනතුරුත් ලැබී නොමැති බවයි.

බිත්තර පලූවක් සමග සපයන ආහාර වේලකට දෛනිකව රුපියල් 22 ක පමණ මුදලක්ද, බිත්තර නොමැතිව සපයන ආහාර වේලකට රුපියල් 20 ක්ද වශයෙන් එම ආහාර සපයන්නාට මාසිකව මුදල් ගෙවීම සිදුකරන්නේ අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින්.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ආහාර වේල සපයන සැපයුම්කරුවන්ට නියමිත වේලාවට මුදල් නොගෙවීම නිසා තවත් පාසල් රැසක දිවා ආහාර වැඩපිළිවෙල අඩාලවී ඇති බවයි.

 
අප මේ පිළිබඳව කළ විමසීමකදී අධ්‍යාපන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පසුගිය ජූලි මාසයේ දිවා ආහාර සැපයුම්කරුවන්ට ලබාදිය යුතු මුදල් භාණ්ඩාගාරයෙන් මෙතෙක් නොලැබීම නිසා මෙම ගැටලූව මතුව ඇති බවයි. කෙසේ නමුත් දිවා ආහාරය ලබාදීම අත්හිටුවා නොමැති බවත් මුදල් ලද විගස සැපයුම්කරුවන්ගේ හිඟ මුදල් ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යාංශය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories