Update : වීඩියෝ : මන්මෝහන්ට ඉන්දීය පුවත්පත්වලින් දැඩි ප්‍රහාර. CHOGM - 2013

Wednesday, 06 November 2013 - 8:22

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB.+CHOGM+-+2013

ඉන්දියාව බරපතල රාජ්‍ය තාන්ත්‍රික වරදක් සිදුකර ඇති බව එරට පළ වන ප්‍රධාන පෙළේ පුවත්පත් රැසක් ප්‍රකාශ කර තිබෙනවා. එම පුවත්පත් උපුටා දක්වමින් බී.බී.සී. ගුවන් විදුලිය මේ පිළිබදව අද (12) වාර්තා කර තිබුණා. එම වාර්තා මගින් දැක්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි. ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන ගැටළුවක් පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි එම වාර්තා සදහන් කළේ. ඒ අනුව කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන දෙවන රාජ්‍ය නායකවරයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සැලකිය හැකි බවයි එම පුවත්පත් පෙන්වා දුන්නේ. මීට පෙර කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන බව සදහන් කළා.

ඉන්දියාවේ පළ වන ඩෙකෑන් හැරල්ඞ් පුවත්පත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තීරණය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් එම  පුවත්පත පෙන්වා දී ඇත්තේ මෙය බරපතල රාජ්‍ය තාන්ත්‍රික අත්වැරැද්දක් බවයි. මීට අමතරව ප්‍රාන්ත දේශපාලන පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දීම සම්පූර්ණයෙන් වැරදි බව ද එම පුවත්පත පෙන්වා දෙනවා. මැතිවරණයක් ආසන්නයේ දුර්වල ආණ්ඩුවක් විසින් ගනු ලැබූ ජනප්‍රිය තීන්දුවක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තීරණය ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත හඳුන්වා දෙනවා. හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ ඉන්දියාවේ මෙම තීරණය මගින් ශ්‍රී ලංකාව චීනය ඇතුළු කලාපයේ අනෙකුත් බලවත් රාජ්‍යයන් වෙත සමීප වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමෙන් යම් බලපෑමක් ඇති විය හැකි බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුගමනය කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  ඬේවිඞ් කැමරන් එවැනි තීරණයක් නොගනු ඇති බවයි ඔහු කියා සිටියේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබදව ඍජුව ප්‍රශ්න කිරීමට සූදානම් බව ද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
 
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ සමුළුව වර්ජනය කිරීම මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සාර්ථකත්වයට බාධාවක් නොවන බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මීට පෙර කියා සිටියා.



Update : Tuesday, 12 November 2013 - 7:51 AM

-------------------------------------------------------------------------------------

මන්මෝහන් සිං ගේ තීරණයට හේතුවූ කරුණු හෙළිවේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තීරණ ගැනීමේ දී බෑරෑරුම් තීරණ ගැනීමට සිදුවන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලී රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීම පිළිබදව එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. කලාපීය සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා දෙරටම විශාල දායකත්වයක් ලබාදී ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ සමුළුවට නොපැමිණීමට කරුණු කිහිපයක් බලපා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාල අමාත්‍ය වී. නාරායන් ස්වාමි පවසනවා. බී.බී.සී. ගුවන් විදුලියේ දෙමළ සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමිල්නාඩු මහ ඇමතිනිය, විපක්ෂ නායකවරයා සහ කොංග්‍රස් පක්ෂ නායකත්වය කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙම තීරණය ගෙන ඇති බවයි.

Update : Monday, 11 November 2013 - 7:37

-------------------------------------------------------------------------------------
ඉන්දීය අගමැති ජනපතිට ලියයි.


ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. හින්දු පුවත්පත අනාවරණය කළේ කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගි නොවන බව එම ලිපිය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි. ඊට අමතරව සමුළුවට සහභාගී වීමට නොහැකිවීම පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ලිපිය මගින් කණගාටුව පළකර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවීමට හේතුව එම ලිපිය මගින් දක්වා නොමැති බවටද හින්දු පුවත්පත සඳහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යොමුකළ කෙටි ලිපිය ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ජනාධිපතිවරයා වෙත අද (10) දිනයේ යොමුකිරීමට නියමිත බවයි එම පුවත්පත වැඩිදුරටත් කියා සිටියේ.   

කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවීම හේතුවෙන් එහි ප්‍රධානත්වය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් වෙත පවරා තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හට කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි නොවන ලෙස තමිල්නාඩුවෙන් දැඩි බලපෑම් එල්ලවුණා. කොංග්‍රස් රජය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙක් ප්‍රකාශ කළේ  අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගි නොවිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අවස්ථා කිහිපයකදී රැස්වුණා. කෙසේවෙතත් අවසානයේදී තීරණය වුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ පැවැත්වෙන සමුළුවට සහභාගී නොවීමටයි.
 
1993 වසරෙන් පසු පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු 10 කදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඊට සහභාගි වී ඇත්තේ අවස්ථා 5 කදී පමණයි. එක් අවස්ථාවක් උප ජනාධිපතිවරයෙකු ඊට සහභාගි වී ඇති අතර සෙසු සෑම අවස්ථාවකම විදේශ අමාත්‍යවරයා හෝ ඉන්දීය කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන පෙලේ අමාත්‍යවරයෙකු ඊට සහභාගි වී ඇති බවයි හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ.



 Sunday, 10 November 2013 - 7:15 PM
------------------------------------------------------------------------

මන්මෝහන් සමුළුව මගහරී.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ඉන්දීය නියෝජිත කණ්ඩායමේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් විසින් දරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. අදාළ වාර්තාවල ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවයි. එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීමට හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා රජය වෙත අද (10) දිනයේ ලිපියක් යොමු කිරීමට නියමිත බවද ඉන්දීය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ සහභාගීත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල දෙස් විසෙස් මාධ්‍යයන්හි දැඩි අවධානයක් යොමු වී තිබුණා. සමුළුව වර්ජනය කළ යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනඥයන්ගේ සහ මධ්‍යම රජයේ ප්‍රබල නියෝජිතයන්ගෙන් එල්ල වූ විරෝධය ඊට ප්‍රධාන හේතුවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගීවීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව පෙරේදා දිනයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එයද අවසන් වුණේ තමිල්නාඩු දේශපාලනඥයන්ගෙන් එල්ල වූ ප්‍රබල විරෝධයන් සමගයි. මෙවැනි තත්ත්වයක් හමුවේ ඉන්දීය රජය තවත් අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් පැවැත් වූයේ ඊට අදාළව නිසි තීරණයක් ගැනීමටයි. කෙසේ වෙතත්, අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන ඉන්දීය නියෝජිත කණ්ඩායමේ නායකත්වය විදේශ ඇමති සල්මාන් කුර්ෂිඞ් වෙත ලබාදීමටත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී නොවීමටත් තීරණය කර ඇති බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කළා.

 
විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ්ට ඉන්දීය නියෝජිත පිරිසේ නායකත්වය පැවරීම සම්බන්ධයෙන් නිල නිවේදනය ඉදිරි පැය 48 තුළ ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


Update : Sunday, 10 November 2013 - 7:22
------------------------------------------------------------------------

 අවසන් තීරණය ප්‍රසිද්ධ කිරීමට පෙර ලක් රජයට - ඉන්දියාව.


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ශ්‍රී ලංකාවට දැනුම්දීමෙන් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව ඉන්දියාව පවසනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සයිද් අක්බර්ඞීන් ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ තවත් අභ්‍යන්තර සාකච්ඡා වටයකින් අනතුරුව පොදු රද මඩුළු සමුළුවට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගීවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
 

මේ වනතුරුත් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සම්බන්ධයෙන් අවසන් තීරණක් ප්‍රකාශයට පත්කර නැහැ. මේ පිළිබඳ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ සහභාගීත්වයෙන් ඊයේ (08) දිනයේද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවේදීද තමිල්නාඩුව නියෝජනය කරන මධ්‍යම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ආචාර්ය මන්මෝහන් සිංගේ සහභාගීත්වය පිළිබඳව සිය විරෝධය පළ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


Saturday, 09 November 2013 - 7:20 PM

------------------------------------------------------------------------------------------
මන්මෝහන් සිං තමිල්නාඩුවට යට වන ලකුණු.


තමිල්නාඩුවෙන් එල්ල වන බලපෑම සහ තමිල්නාඩුව නියෝජනය කරන සිය අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ බලපෑම මත ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගි නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සහ පක්ෂයේ ප්‍රධානීන් සමඟ ඊයේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වුණා.

 

පැය එක හමාරකට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි සහ මුදල් අමාත්‍ය පී. චිදම්බරම්, අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දැඩි විරෝධයක් දක්වා ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කළේ. මෙම සාකච්ඡාවට පෙරම කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු සහාය පක්ෂය වන ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුනානිධි කොංග්‍රස් පක්ෂයට නව අනතුරු ඇගවීමක් කර තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය ද කොංග්‍රස් පක්ෂ රැස්වීමට දැඩි බලපෑමක් වූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

 

ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම මාධ්‍ය සඳහන් කළේ කොළඹ පැවැත්වෙන සමුළුවට ඉන්දීය රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සහභාගි වන අතර, අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවනු ඇති බවයි. කෙසේ නමුත් කොංග්‍රස් පක්ෂයේ ඉහළ පෙළේ රැස්වීම අවසානයේ දී බලාපොරොත්තු වූ පරිදි නිළ ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුණේ නැහැ. කොංග්‍රස් නායකයන් සිය තීරණය පිළිබදව මුනිවත රැකි අතර ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ නායක රන්දීප් සිං සුර්ජවාලා ප්‍රකාශ කර ඇත්තේ ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සුදුසු තීරණයක් ගනු ඇති බවයි.

 


කෙසේ නමුත්, ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවනු ඇති බව එන්.ඞී. ටිවී ප්‍රවෘත්ති සේවාව ඊයේ (08) පස්වරුවේම සඳහන් කලා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට කොංග්‍රස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ සංචාරයට පවතින දැඩි විරෝධතා හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සමුළුවට සහභාගිවීම දුෂ්කර වනු ඇති බවයි.

Saturday, 09 November 2013 - 7:58 AM

-----------------------------------------------------
මන්මෝහන් නොඑනු ඇතැයි ඉන්දීය මාධ්‍ය කියයි.


ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං බොහෝ දුරට පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට නොපැමිණෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (08) පස්වරුවේ වාර්තා කළා. ඒ, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. පෙර දී වාර්තා වුණේ මන්මෝහන් සිංගේ තීරණය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි. අද පැවැති සාකච්ඡාවට එරට විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටි අතර, අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි විය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුමක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගිවීමට පෙර යාපනයේ සංචාරය කළ යුතු බව එහි සඳහන්. කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන තමිල්නාඩුවෙන් එල්ල වන විරෝධය පිළිබදව ද කොංග්‍රස් පක්ෂය මෙහිදී විශේෂ අවදානයක් යොමු කර තිබෙනවා.

 


Friday, 08 November 2013 - 20:12 PM

-------------------------------------------------------------------------------------------

 ඉන්දියාවේ අවසන් තීරණය තවත් දවසක් කල් යයි.


ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වනවාද නැද්ද යන්න පිළිබද අවසන් තීරණය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (08) පස්වරුවේ වාර්තා කළා. ඉන්දීය පාලක කොංග්‍රස් පක්ෂය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද (08) පෙරවරුවේ දෙවන වරටත් රැස්වූ අතර, එම සාකච්ඡා මේ වන විට අවසන් වී තිබෙනවා. පැයක පමණ කාලයක් පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයාට අමතරව කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ද එක්ව සිටියා. විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි විය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුමක් ඔවුන් විසින් මෙම කමිටුව හමුවට ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගිවීමට පෙර යාපනයේ සංචාරය කළ යුතු බව එහි සඳහන්. කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන තමිල්නාඩුවෙන් එල්ල වන විරෝධය පිළිබදව ද කොංග්‍රස් පක්ෂය මෙහිදී විශේෂ අවදානයක් යොමු කර තිබෙනවා.
 

තමිල්නාඩු විරෝධය මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන කොංග්‍රස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු අමාත්‍යවරුන් තුන්දෙනෙකු සමුළුව වර්ජනය කළ යුතු බවට හඬ නගනවා. සමුළුව වර්ජනය කළ යුතු බවට පවසන කැබිනට් අමාත්‍යවරුන් වන්නේ මූල්‍ය කටයුතු පිළිබද අමාත්‍ය පී. චිදම්බරන් සහ නාවික කටයුතු පිළිබද අමාත්‍ය ජේ.කේ. වාසන්. පරිසර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ජයන්ති නටරාජන් ද ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවිය යුතු බවයි.

 
මේ අතර, නොබෙල් සාම ත්‍යාගලාභී දකුණු අප්‍රිකානු ජාතික ඩෙස්මන් ටුටූ පියතුමන් ද නවදිල්ලියේ දී අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම දෙමළ ජනතාවට උපකාරයක් විය හැකි බවයි.  

Friday, 08 November 2013 - 19:20 PM
--------------------------------------------------------------------------

මන්මෝහන්ගේ සංචාරය ගැන තීරණාත්මක සාකච්ඡාවක් දැන් දිල්ලියේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොංග්‍රස් පක්ෂ ප්‍රධානීන් නවදිල්ලියේදී දැන් සාකච්ඡාවක නිරතවනවා. ඒ සඳහා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ද එක්ව සිටින බව සඳහන්. ඉන්දීය ආග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය වී තිබෙනවා. එහෙත් ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන තමිල්නාඩුවෙන් ඒ සඳහා එල්ලවන විරෝධය පිළිබඳවද කොංග්‍රස් රජය මෙහිදී විශේෂ අවධානය යොමු කරනු ඇති. ඉන්දීය රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මන්මෝහන් සිං ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය දැක්වීම ඊට හේතුවයි.

 Friday, 08 November 2013 - 12:47 PM
-----------------------------------------------

මන්මෝහන්ගේ ශ්‍රී ලංකා ගමන තවමත් කුතුහලයක්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ සහභාගීත්වය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ පිළිබඳ තීරණයක් ගැනීම අවසන් අදියරට එළඹ ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදී පක්ෂවලින් එල්ලවන බලපෑම සහ ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් ඒ පිළිබඳ තීරණයක් ගැනීම කොංග්‍රස් රජයට දුෂ්කර වී තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මන්මෝහන් සිං ගේ ශ්‍රී ලංකා චාරිකාව පිළිබඳ තීරණය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි විසින් ගනු ඇති බවයි.

 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තීරණය ඊයේ දිනයේදී සිදුවනු ඇති බවට ඉන්දීය මාධ්‍ය පසුගිය බදාදා අනාවැකි පළකළා. එහෙත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සමග අද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි තමිල්නාඩුවේ පළවන දිනමලර් පුවත්පත සඳහන් කළේ. ඉන්දීය කොංග්‍රස් රජයේ අමාත්‍ය මණ්ඩලය අතරද මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි විය යුතුද නැද්ද යන්න පිළිබඳව පවතින්නේ මතබේදයක්.

 

ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම්, ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනී මෙන්ම පරිසර ඇමතිනී ජයන්ති නටරාජන් සහ නාවික ඇමති ජී.කේ. වාසන් මන්මෝහන් සිංගේ ශ්‍රී ලංකා චාරිකාවට විරුද්ධත්වයක් පළකරනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා සංචාරයට සහභාගි විය යුතු බව අවධාරණය කරන ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය සුදර්ශන් නාච්චිඅප්පන් පවසන්නේ එමගින් තමිල්නාඩුවටද වෙළඳ වාසියක් ලබාගත හැකි බවයි.

Friday, 08 November 2013 - 7:48 AM
-----------------------------------------------------

සමුළුවට මන්මෝහන් සහභාගී විය යුතුයි - ආසියානු මානව හිමිකම් කොමිසම.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සහභාගී විය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ සුහාස් චක්මා කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී වුවහොත් ලක් රජයට එල්ල වී ඇති මානව හිමිකම් කඩවීමේ චෝදනා පිළිබඳව එහිදී ප්‍රශ්න කළ හැකි බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී නොවුන ද එය සැලසුම් කළ පරිදි පැවැත්වෙනවා. එහිදී ඉදිරි වසර දෙකක කාලය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය හිමිවන්නේ ද   ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටයි. එම නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී විය යුතු බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ සුහාස් චක්මා ප්‍රකාශ කළේ. සමුළුවට සහභාගී වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජගත් සංවිධාන මහ ලේකම්වරයා පත්කළ විද්වත් කමිටු වාර්තා පිළිබඳවද එහිදී ප්‍රශ්න කළ යුතු බව ඔහු සඳහන් කළා.

මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති පොන් රාධක්‍රිෂ්ණන් ඇතුළු නියෝජිතයින් තුන් දෙනෙකු නවදිල්ලියේදී එම පක්ෂයේ සභාපති රාජ්නාත් සිං හමු වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී විය යුතු බවට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු කර ඇති ප්‍රකාශයට ඔවුන් විරෝධය පළ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී වුවහොත් එය තමිල්නාඩුවේ දෙමළ ජනතාවට සිදුකරන අසාධාරණයක් බවද ඔවුන් මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.   

කෙසේ වෙතත්, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවසන් තීරණය බොහෝ දුරට අද (07) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ සඳහා සාකච්ඡා කිරීමට ඉන්දීය කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වන අතර, එම තීරණය ඉන්දීය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිය තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


Thursday, 07 November 2013 - 7:10
---------------------------------------------------------------------------------

කොළඹ ගමන ගැන මන්මෝහන්ගේ තීරණය අද.

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය බොහෝ දුරට අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ සඳහා සාකච්ඡා කිරීමට ඉන්දීය කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වෙනවා. එම තීරණය ඉන්දීය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවසන් තීරණය ගැනීමට නියමිත බවයි කොංග්‍රසයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවන ලෙස පාර්ශව ගණනාවකින් බලපෑම් එල්ල වුණා. ඒ අතරින් දකුණු ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් ප්‍රබල වූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. මීට අමතරව, ඉන්දීය කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ද පොදුරඳ මඩුලූ සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළා. එහෙත් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සුදුසු වන බවයි.

 
කෙසේ වෙතත්,  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහභාගිත්වය පිළිබඳව පැන නැගී ඇති විවාදාත්මක තත්ත්වයට අද දිනයේ නිවැරදි පිළිතුරක් ලැබෙනු ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

Thursday, 07 November 2013 - 7:14
---------------------------------------------------------------------------------

පොදුරද මඩුලු සමුළුවට සහභාගී වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට නිර්දේශයක්.


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී විය යුතු බවට එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගීවන්නේ ද යන්න පිළිබදව මේ දක්වා නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.



Wednesday, 06 November 2013 - 22:01 PM

---------------------------------------------------------------------------------

මන්මෝහන්ගේ කොළඹ ගමනට ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් තල්ලූවක්.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම්, ඔහු උතුරේ ද සංචාරයක නිරතවීම සුදුසු බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එය දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊට අමතරව තමිල්නාඩුවෙන් එල්ල වන විරෝධය යම් පමණකට සමනය කර ගැනීමටද උතුරේ සංචාරය වැදගත් වන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මන්මෝහන් සිං ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබදව තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැතත් ඔහු පොදුරාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බවට විවිධ වාර්තා පළ වනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මන්මෝහන් සිං පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වනු ඇති බවට තම අමාත්‍යාංශයද විශ්වාස කරන බවයි. දැනටමත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවන ලෙසට විවිධ බලපෑම් එල්ල වනවා. ඒ අතර තමිල්නාඩුවෙන් එල්ල වන්නේ දැඩි බලපෑමක්. ඊට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා ගමන වළක්වන ලෙස පෙත්සම් කිහිපයක්ද එරට අධිකරණයට ඉදිරිපත් වූ අතර, පසුව ඒවා ප්‍රතික්ෂේප වුණා.

Wednesday, 06 November 2013 - 12:50 PM
-----------------------------------------------------
මන්මෝහන් ආවොත් උතුරටත් යා යුතුයි. - ඉන්දීය විදේශ අමාත්‍යාංශය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම්, ඔහු උතුරේ ද සංචාරයක නිරතවීම සුදුසු බව එරට විදේශ අමාත්‍යාංශය පවසනවා. එය දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මන්මෝහන් සිං ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබදව තවමත් නිළ ප්‍රකාශයක් සිදුකර නැතත් ඔහු පොදුරාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බවට විවිධ වාර්තා පළ වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories