Update :Video: අදත් රාජ්‍ය නායකයන්ගේ විශේෂ හමුවක්. - CHOGM 2013

Friday, 15 November 2013 - 7:55

Update+%3AVideo%3A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+-+CHOGM+2013
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවක් අද (16) කොළඹ - බත්තරමුල්ලේදී පැවැත්වීමට නියමිතයි. මෙම හමුවේදී රටවල් අතර පවතින ගැටළු පිළිබදව විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. ඊයේ දිනයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ පළමු සහ දෙවන විධායක සැසි වාරයන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. කුඩා රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග, ජාත්‍යන්තර වෙළදාම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඊයේ පැවැත්වූ සැසි වාරවලදී පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුව පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් හමුවුණා. සැසි වාරයන් දෙක අවසානයේ දී සියලූම රාජ්‍ය නායකයින්ට ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද කොළඹ දී පැවැත්වුණා. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූයේ බ්‍රිතාන්‍යය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන්.

 

මේ අතර, සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු යාපනයේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේ පැවැති එම හමුවේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයා පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සංවිධානය කර ඇති ආකාරය පිළිබදව සිය සතුට පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. රැස්වීම වර්ජනය කරන ලෙස ඇතැමුන් කළ යෝජනා තමන් පිළිනොගත් බවයි බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් එහිදී පවසා ඇත්තේ.

 


උතුරේ සිය චාරිකාව පිළිබදව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේ ගැටළුව අවසන්වීමෙන් පසු එහි විශාල ප්‍රගතියක් ඇති වී තිබෙන බවයි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් ඉදිරි පියවරක්. එසේ වුවද අවතැන්වූවන්, ඉඩම් ගැටළු, උතුරු පළාතේ හමුදාව රැදී සිටීම සහ අලූතින් පත්වූ පළාත් සභාවට බලතල පැවරීම වැනි ක්ෂේත්‍රවල විසදිය යුතුව ඇති ප්‍රශ්න තිබෙන බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබෙනවා.

 
එහිදී ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ අවතැන්වූවන් යළි පදිංචි කිරීම, පුනරුත්ථාපනය, ගැටුම් සමයේ විනාශ කළ යටිතල පහසුකම් යළි ඉදිකිරීම වැනි අංශවල සුවිසල් වැඩ කොටසක් සම්පූර්ණ කර ඇති බවයි. දේශපාලන කරුණු සම්බන්ධයෙන් පොදු එකඟත්වයකට පැමිණීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බවත් අදාළ සියලූ පක්ෂවලට ඊට සහභාගි වී සිය අදහස් පළ කොට එකඟත්වයකට පැමිණීමට හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණා. ගැටුම් අවසන් වී තවම ගත වී ඇත්තේ වසර 4ක කාලයක් පමණයි. ප්‍රධාන අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තව යම් කාලයක් අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට පවසා තිබෙනවා.

UPDATE: Saturday, 16 November 2013 - 7:49 AM
----------------------------------------------------------------
ශ්‍රී ලංකාවට සභාපතීත්වය. - රාජ්‍ය නායක සමුළුව ඇරඹේ.


පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ පළමු සහ දෙවන විධායක සැසි වාරයන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (15) පස්වරුවේ දී පැවැත්වුණා. ඒ, නෙලූම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුවයි. මෙම විධායක සැසි වාරයන්වලට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් හැර අනෙකුත් රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් පැමිණ සිටියා. එම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුවේ සභාපතිවරයා ලෙස විධායක සැසි වාරයේ අසුන් ගැනීම සිදුවුණා.

කුඩා රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග, සංවර්ධන ක්‍රියාවලියේ දී සිවිල් සමාජයේ භූමිකාව, සංවර්ධන ක්‍රියාවලියේදී තරුණ සහභාගීත්වය වර්ධනය හා ජාත්‍යන්තර වෙළදාම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.                                             

පළමු සැසි වාරය අවසන්වීමෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලයේ සභාපතිවරයා විධායක කමිටුවට පැමිණි රාජ්‍ය නායකයින් හමුවුණා. දින 5ක් පුරා හම්බන්තොට - මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබදව රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමයි අද (15) සිදුවුණේ. එහිදී තරුණ සමුළුවේදී සම්මත කර ගත් යෝජනා ඇතුළත් ලිපියක් රාජ්‍ය නායකයින් වෙත භාර දී තිබෙනවා.

අනතුරුව දෙවන වරට රැස්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ විධායක සැසි වාරයේ දී තරුණ කවුන්සිලය විසින් ලබා දුන් මාතෘකා සහ යෝජනා පිළිබදව සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ පළමු සහ දෙවන විධායක සැසි වාරයන්ගෙන් පසුව එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් අද (15) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මාගේ සහභාගීත්වයෙන්.

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ පළමු විධායක සැසි වාරයට සහභාගිවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද (15)  පස්වරුවේ දී කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමට එක්වුණා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා දිවයිනට පැමිණ සිටින රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිත පිරිසට චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
 
මේ අතර, හෙට (16) දිනයේ දී රාජ්‍ය නායකයින් අතර විශේෂ හමුවක් ද බත්තරමුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.












Friday, 15 November 2013 - 7.46 PM
------------------------------------------------------------
පොදුරද මඩුලූ විධායක සැසි වාරය ඇරඹේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසි වාරය මේ වන විට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වී තිබෙනවා. එම විධායක සභා සැසි වාරයෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය වත්මන් සභාපති  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදුකෙරෙනු ඇති. අද (15) පෙරවරුවේ පැවැති රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භයට එක්වූ රාජ්‍ය නායකයින් අලංකාර රථ පෙරහැරකින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත කැදවාගෙන එනු ලැබුවා.










Update : Friday, 15 November 2013 - 2:05 PM

----------------------------------------------
22 වන පොදුරඳ මඩුලූ රාජ්‍ය නායක සමුළුව ඇරඹේ.


22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ශවත් අන්දමින් අද (15) පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යයාව සමුළුව පැවැත්වෙන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රය වෙත සම්ප්‍රාප්ත වුණේ අද පෙරවරු 9.15 ට පමණයි. ඉන් අනතුරුව, සිදුවුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා සහ එම මහත්මියගේ සම්ප්‍රාප්තියයි. පසුව, පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත සම්ප්‍රාප්ත වුණා. ඉන් අනතුරවයි පිළිවෙලින් පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත පැමිණියේ. මෙම රාජ්‍ය නායකයන් පිළිගනු ලැබුවේ ජනාධිපති ආර්යයාව, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා සහ  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් විසින්. අවසන් වරට රාජ්‍ය නායක සමුළුවට එක්වූයේ මෙහි ප්‍රධාන ආරාධිතයා වන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුයි.

 

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා සාමාජික රටවල ජනාධිපතිවරුන් 7 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. නාවූර්, සැමෝවා, සයිප්‍රස්, ටැන්සානියා, රුවන්ඩා, සී ෂෙල්ස් සහ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරුයි මෙලෙස සමුළුවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. ඊට අමතරව, සාමාජික රටවල උප ජනාධිපතිවරුන් 5 දෙනෙකු, අගමැතිවරුන් 13 දෙනෙකු, විදේශ අමාත්‍යවරුන් 33 දෙනෙකු සහ වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන් 9 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

 

රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල අවසන් වීමෙන් පසුව රාජ්‍ය නායකයින් අලංකාර රථ පෙරහැරකින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත කැඳවාගෙන යන අතර එහිදී සමුළුවේ ප්‍රධාන විධායක සැසිවාරය ආරම්භ කෙරෙනු ඇති. පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය වත්මන් සභාපති  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත භාරදීම ද මෙහිදී සිදුකෙරෙනවා. ඉන් පසුව, රාජ්‍ය නායකයින් දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වන අතර, එය පිරිනමන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේශ් ෂර්මා විසින්. දිවා භෝජනයෙන් පසුව, රාජ්‍ය නායකයින් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ නායකයින් අතර සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

 
රාජ්‍ය නායකයින්ගේ දෙවැනි විධායක සැසිවාරය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පස්වරුවේදී ආරම්භ කෙරෙන අතර එය පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනවා. මෙම සැසිවාරයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පස්වරුවේ සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති. චාල්ස් කුමරු විසින් රාජ්‍ය නායකවරුන් වෙත පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක ඉන් පසුව පැවැත්වෙනවා.

Friday, 15 November 2013 - 1:00 PM
-----------------------------------------------
පොදුරාජ්‍ය මණ්ඩලයේ අරමුණ ජනපති පහදයි.


පොදුරාජ්‍ය මණ්ඩලයේ අරමුණ වී ඇත්තේ සාමාජික රටවල් අතර සහයෝගිත්වය ගොඩනගා එකිනෙකාට උදව් කිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආරම්භයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පොදුරඳ මඩුල්ල පොදු ධනයට පෙර පොදු දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය යුද්ධයේ නිමාවෙන් පසු, දිනැති ක්‍රියාමාර්ග මෙන්ම මුහුණදෙන අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකාව මහින්ද චින්තන දර්ශනය යටතේ මෙරට දුප්පත්කම කැපී පෙනෙන ලෙස අඩුකිරීමට සමත් වූ බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. 2007 වසරේ සියයට 15 යි දශම 2 ක්ව පැවති දුප්පත්කමේ මට්ටම 2012 වසර වනවිට සියයට 6 යි දශම 5 ක් දක්වා අඩු වුණේ එම උත්සාහයෙන්. 


Friday, 15 November 2013 - 11:20 AM
----------------------------------
රාජ්‍ය නායක සමුළුව ඇරඹේ.

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව, බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ඇතුළු රටවල් රැසක ජනාධිපතිවරුන් ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මෙම සමුළුවට එක්ව සිටිනවා.

Friday, 15 November 2013 - 10:54 AM
-------------------------------------------------------------------------------------------
පොදුරඳ මඩුලූ සමුළුවට රාජ්‍ය නායකයින් පැමිණීම ඇරඹේ.


පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය අද (15) පෙරවරු 10 යි 15 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වීමට නියමිතයි. සමාරම්භක උළෙල සඳහා සහභාගි වන රාජ්‍ය නායකයන් නෙළුම් පොකුණ රඟහල වෙත දැන් පැමිණෙමින් සිටිනවා. ඔවුන් පිළිගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආර්යාව විසින් සිදුකරන අතර ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා සහ දැනට සභාපති ධුරය දරන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ද එක්වනවා.

 Friday, 15 November 2013 - 10:20 AM
---------------------
පොදුරඳ මඩුලූ රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ.


22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (15) ආරම්භ වනවා. ඒ, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීයී. මේ සඳහා සහභාගීවීමට රටවල් 30 ක රාජ්‍ය නායකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ සිටිනවා. මෙම රාජ්‍ය නායක සමුළුව ආරම්භ කිරීමෙන් පසු මුල්ම සැසිවාරයද  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
 
රාජ්‍ය නායක සමුළුවට සහභාගීවිම සඳහා චාල්ස් කුමරු ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. චාල්ස් කුමරු ඊයේ රාත්‍රියේදී ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මුණ ගැසුණා. එහිදී ඊයේ දිනයට යෙදී තිබූ චාල්ස් කුමරුගේ 65 වන උපන්දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක්ද සංවිධාන කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. මෙහිදී චාල්ස් කුමරු වෙනුවෙන් විශේෂ උපන්දින කේක් නිර්මාණයක්ද සකස් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories