වීඩියෝ: Update : හෙද, වර්ජනය අවසන්.

Thursday, 28 November 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+Update+%3A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF%2C+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
ඉල්ලීම් 06 ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති පෙරේදා ආරම්භ කළ පැය 48 ක වර්ජනය අද (29) උදෑසන 07 න් අවසන් වීමට නියමිතයි. වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වූ අතර, මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණේ පිට පළාත්වල රෝහල් තුළයි.

මෙම වැඩවර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය පෙරේදා දහවල් වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ ජාතික රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන හෘද රෝගියෙකු ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. එහෙත් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම වාරණ නියෝගය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, අද වර්ජනය අවසන් කිරීමෙන් පසු වෘත්තීය සමිති 16 කින් සමන්විත තම ඒකාබද්ධ බලමණ්ඩලය රැස්වී ඉදිරියේදී ගන්නා තීරණ පිළිබඳ අද තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Update : Friday, 29 November 2013 - 8:09
---------------------------------------------------------------------------------------
වාරණ නියෝගය ලැබී නැහැ - සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව.

Thursday, 28 November 2013 - 19:10

අධිකරණය වාරණ නියෝගයක් ලබාදී තිබුණද හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (28) දිනයේත් ක්‍රියාත්මක වුණා. වර්ජනය හේතුවෙන් ඊයේ මෙන්ම අදත් රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වූ අතර, මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණේ පිට පළාත්වල රෝහල් තුළයි.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අද මුළුමනින්ම පාළුවට ගොස් තිබූ අතර, සායන පැවැත්වීමද සම්පූර්ණයෙන්ම අඩාල වුණා. කෙසේ වෙතත්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ අද දිනයේ හෙදියන් 90% ක් සේවයට වාර්තා කර තිබූ බවයි. එහෙත් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ක්‍රියාත්මක නොවීම නිසා ඒවා අවම කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවු බව ඔහු සඳහන් කළා. අනුරාධපුර රෝහලේ බාහිර රෝගී අංශයද පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර, වර්ජනය හේතුවෙන් නොච්චියාගම රෝහලේ ප්‍රතිකාර කටයුතුවලට බලපෑම් එල්ල වී තිබුණා. මහනුවර, පේරාදෙනිය, කරාපිටිය යන රෝහල් තුළද ප්‍රතිකාර කටයුතු සුපුරුදු පරිදි සිදුනොවූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

දීමනා ලබාගැනීම් ඇතුළු ඉල්ලීම් 06 ක් මුල්කරගනිමින් ඊයේ (27) පෙරවරු 07 ට ආරම්භ වූ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල වැඩවර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ දහවල් වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ ජාතික රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන හෘද රෝගියෙකු ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. එමෙන්ම, ලබන මස 11 වැනිදා වෘත්තීය සමිති නියෝජිතයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළ විනිසුරුවරයා වාරණ නියෝගය ඔවුන්ට දුරකතන මගින් දැනුම්දෙන ලෙසද උපදෙස් ලබා දුන්නා.

කෙසේ නමුත් අද පස්වරුවේදී හිරු ප්‍රවෘත්ති අංශය හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම වාරණ නියෝගය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී වෘත්තීය සමිතියකට තවදුරටත් මෙලෙස වර්ජනයක නිරත විය හැකිදැයි අප කරුණු විමසා සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී ගෙන්. එහිදී ඔහු කියා සිටියේ වෘත්තීය සමිතිවලට නියෝගය නොලැබුණු බව ප්‍රකාශ කළ හැකි වූවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අධිකරණය ගන්නා බවයි.

මේ අතර, වෘත්තීය සමිති 40 කින් සැදුම්ලත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව කොළඹ දී අද (28) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වෙමින් එහි සංවිධායක ජෝශප් ස්ටාලින් කියා සිටියේ වෘත්තීය සමිති ආඥා පනතට අනුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එරෙහිව සිවිල් අධිකරණයක නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
 
මේ අතර, මෙම වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වන රෝගීන් පිළිබඳ සලකා රජයේ රෝහල්වලින් වෛද්‍යවරුන් නිර්දේශ කර ලබාදෙන ඖෂධ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල්වලින් නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇතැයි එම සංස්ථාව ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories