වසර 31ක් තුළ මෙරට ජනගහනය 54 ලක්ෂයකින් ඉහළට.

Sunday, 01 December 2013 - 19:18

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+31%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+54+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය දෙකෝටි දෙලක්ෂ 71,464ක් බව පසුගිය වසරේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ජන හා නිවාස සංගණනයෙන් හෙළි වී තිබෙනවා. ඉන් සියයට 77.3ක් ග්‍රාමීයව ද  සියයට 18.3ක් නාගරිකව ජීවත් වනවා. සියයට 4.4ක් ජීවත් වන්නේ වතුකරයේයි. අවසන් වරට ජන හා නිවාස සංගණනයක් සිදුකළේ 1981 වසරේදියි. එම වසරේ සිට පසුගිය වසර දක්වා ජනගහනය සියයට 36කින් වර්ධනය වී ඇති අතර එම අගය 54 ලක්ෂ 24,714ක්. ජන ඝනත්වයට අනුව වර්ග කිලෝමීටරයක ජීවත් වන පුරවැසියන් සංඛ්‍යාව 323ක්. ඒ අනුව වර්ග කිලෝමීටරයකට වැඩිම ජන ඝනත්වයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම අගය 3417ක්. අඩුම ජන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 38ක් ලෙසයි.

ස්ත්‍රී, පුරුෂ අනුව ජනගහනය සැලකීමේදී කාන්තාවන් සියයටකට පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා වන්නේ 94ක් ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයේ අඩුවක් දක්නට ලැබෙනවා. එහෙත් එම තත්ත්වය වෙනස් වන්නේ වයස අවුරුදු 18ට අඩු ළමා ජනගහනය සැලකීමේදියි. ජන සංගණනයට අනුව ගැහැණු ළමයි 102කට පිරිමි දරුවන් 100ක් වාර්තා වනවා.

ගෘහ ඒකකයක් සැලකීමේදී එහි මූලිකත්වය පිළිබදව ද සංගණයේ දී අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව සියයට 75.8ක මූලිකත්වය ගෙන ඇත්තේ පුරුෂයායි. කාන්තාව මූලිකත්වය ගෙන ඇති ගෘහ ඒකක සංඛ්‍යාව සියයට 24.2ක්.

වයස අවුරුදු 15 මෙරට විවාහ වන වයස ලෙස සලකා සිදුකර ඇති සංගණනයට අනුව ජනගහනයෙන් සියයට 25.5ක් අවිවාහකයින් වන අතර, සමස්ත ජනගහනයෙන් විවාහක පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 67.8ක්. ඊට වැන්දඹුවන් 5.4ක් සහ දික්කසාද වී හෝ වෙන්ව වාසය කරන සංඛ්‍යාව සියයට 1.3ක්.

මේ අතර, ජනගහනයෙන් සියයට 8.6ක් පෙනීම, කන් නොඇසීම ඇතුළු විවිධ අපහසුතාවලින් පෙළෙන්නන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙරට ජනගහනයෙන් කුමන හෝ  රැකියාවක නිරත වන පිරිස හැත්තෑ තුන් ලක්ෂ 14,322 ක්. ඉන් රජයේ රැකියාවල නිරත වන සංඛ්‍යාව එකොලොස් ලක්ෂ 8780 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 15 යි දශම 2ක්. වැඩිම සංඛ්‍යාවක් රැකියාවල නිරත වන්නේ පෞද්ගලික අංශයේයි. එය රැකියාවල නියුතු පිරිසෙන් සියයට 40.5ක්.

එමෙන්ම, නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පුද්ගලයින් පන්ලක්ෂ 73,208 දෙනෙකු විදේශගත වී සිටින අතර, එම සංඛ්‍යාවෙන් සියයට 59.3ක් පිරිමි පුද්ගලයන් බව සංගණනයෙන් හෙළි වී තිබෙනවා. විදේශගතවීමට හේතු සැලකීමේදී ඉන් වැඩිම පිරිසක් එනම්, සියයට 86.8ක් විදෙස්ගත වී ඇත්තේ රැකියාවල නිරතවීම සඳහායි.

මෙරට ජනගහනයෙන් සියයට 3.8ක් පාසල් ගොස් නොමැති බවට හෙළිව තිබෙනවා. කෙසේ වෙතත් මෙරට සාක්ෂරතාවය 95.6ක් බවයි සංගණනය අවසානයේ දී අනාවරණ වී ඇත්තේ.  අවුරුදු 10ට වැඩි ජනගහනයෙන් සියයට 24.2කට පරිගණක සාක්ෂරතාවය පවතින අතර, ජනගහනයෙන් සියයට 86.9කට සිංහල භාෂාව මනාව හැසිරවිය හැකියි. සමස්ත ජනගහනයෙන් සියයට 23.8ක් දෙමළ භාෂාව කතා කරන්නන් වන අතර සියයට 23.8කට ඉංග්‍රීසි භාෂාව කථා කළ හැකි බවයි සංගණනයේ දී හෙළි වී ඇත්තේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ඉහත දත්ත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙය අවසන් වාර්තාවට පෙර නිකුත් කළ අතුරු වාර්තාවක් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඞී.සී.ඒ. ගුණවර්ධන කියා සිටියේ. මෙම දත්ත සඳහා සමස්ත ජනගහනයෙන් සියයට 5ක නියැදියක් භාවිත කළ බව ද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories