කිරිපිටි මිල සූත්‍රය සතියකින්

Monday, 11 March 2019 - 12:51

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ආනයනික කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රය සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

මිල ඉහළ දමන ලෙස ආනයනික කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා සිටි අතර ඉන් අනතුරුවයි කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය හිමි වුණේ.

ඒ අනුව අදාල මිල සූත්‍රය සකස් කෙරුණේ ලෝක වෙලඳපෙලේ කිරිපිටි මිලට සාපේක්ෂව මෙරට වෙළදපොළේ මිල ගණනය කිරීම සඳහායි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ පසුගිය වසර 10 තුල කිරිපිටි ආනයනය කිරීමෙන් සමාගම් අති විශාල ලාභයක් උපයා ඇති බවයි.

එම ගණනය කිරීම් හෙළිදරව් කිරීමට ද තමන් සූදානම් බව  අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර කිරිපිටි මිලේ වැඩිවීමක් ඉල්ලා ආනයනික කිරිපිටි සමාගම් පසුගිය පෙබරවාරි මාසයේ සිට වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගැනීම නිසා වෙළදපොලේ මේ දිනවල කිරිපිටි හිඟයක් ද පවතිනවා.

අප කළ විමසීමකදී ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ මිල සූත්‍රය ප්‍රකාශයට පත් කළහොත් වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය මඟහැරී යනු ඇති බවයි.

එමෙන්ම ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇති වූ කතාබහත් සමඟ මෙරට නිෂ්පාදිත කිරිපිටි සඳහා අධික ඉල්ලුමක් පවතින බව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරි සුදත් මුණසිංහ ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් තම සමාගම නිෂ්පාදනය කරන කිරිපිටිවල හිඟයක් ද පවතින බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී දියර කිරි නිෂ්පාදනය අඩු වීම ද දේශීය කිරිපිටි නිෂ්පාදනය අඩුවීමට හේතු වූ බව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරි සුදත් මුණසිංහ සඳහන් කළා.