අයවැයෙන් සහන රැසක්.

Friday, 30 January 2015 - 8:38

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.
ඊයේ (29) පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුණු අතුරු අයවැයෙන් ජනතා සහන රැසක් ප්‍රකාශයට පත්වුණා. රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 13 ක මෙන්ම, භූමිතෙල්, ගෑස් සහ සිමෙන්ති මිල පහළ දැමීම ඒ අතර ප්‍රධානයි. සමෘද්ධි දීමනාව ද දෙගුණයක් කරන බව එහිදී ප්‍රකාශ වුණා. පෞද්ගලික අංශයේ වැටුප ද රුපියල් 2500 කින් වැඩිකරන ලෙස මුදල් අමාත්‍යවරයා එම සේවා යෝජකයන්ගෙන් ඉල්ලීමක් කළා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත් පොලිය සියයට 15 දක්වා ඉහළ දැමූ අතර සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ දැමුණා. විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ද රුපියල් 1000 දක්වා අඩු කළා. පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් 250 ක දීමනාවක් ලබාදීමටත් දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 200 ක දීමනාවක් ලබාදීමටත් අතුරු අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරුණා.

සීනි, කිරිපිටි, තිරිඟුපිටි, පාන්, මුංඇට, හාල්මැස්සන්, ටින්මාළු, කොත්තමල්ලි, මිරිස් ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ 13 ක මිල අඩු කර තිබෙනවා.

මීට අමතරව භූමිතෙල් ලීටරයක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 6 කින් පහත දැමුණා. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 300 කින් අඩු කෙරුණු අතර,  සිමෙන්ති මිල රුපියල් 90 කින් අඩු කර තිබෙනවා. බස් ගාස්තු සියයට 10 කින් ද පාසල් වෑන් රථ ගාස්තු සියයට 5 කින් ද පහත වැටෙන බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම, ජංගම දුරකථන - රීලෝඩ් සඳහා පාරිභෝගිකයා ගෙවූ සියයට 25 ක බද්ද අදාළ සමාගම විසින් දැරිය යුතු බවට වන නියමයක් ද පනවනු ලැබුවා. රාජ්‍ය බැංකුවල රන් භාණ්ඩ උකස් තබා රුපියල් ලක්ෂ 2 ක උපරිම මුදලක් ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ පොලී මුදල කපා හැරීමට ද යෝජනා කෙරුණා. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල පොලිය සියයට 15 කින් ඉහළ නැංවෙනවා.

රුපියල් ලක්ෂය දක්වා වන ගොවි ණය සියයට 50 කින් කපා හැරීමටත්, වී සඳහා රුපියල් 50 ක්, තේ දළු සඳහා රුපියල් 80 ක්, රබර් සඳහා රුපියල් 350 ක්, දියර කිරි සඳහා රුපියල් 70 ක් වන පරිදි සහතික මිලක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම, පොහොර සහනාධාරය ද අඛන්ඩව ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

අශ්වබල 1000 කට අඩු එන්ජින් ධාරිතාව ඇති කුඩා මෝටර් රථ සඳහා අය කරන බද්ද සියයට 15 කින් අඩු කෙරෙනවා.

උපයන විට ගෙවීමේ බද්ද හෙවත් ආදායම් බද්ද ගෙවීමේ ආදායම් සීමාව, රුපියල් හය ලක්ෂයේ සිට හත් ලක්ෂ 50,000 දක්වා දීර්ඝ කළ අතර, මන්දිර බද්ද, විගමන බද්ද හා සුපිරි වාසි නමින් නව බදු 3 ක් ද අතුරු අයවැයෙන් හඳුන්වා දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories