Update: තවත් ෆුල් ෆේස් හෙල්මට් බැංකු කොල්ලයක් අත්තිඩියෙන්

Tuesday, 03 March 2015 - 14:57

Update%3A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
අපරාධ වැළැක්වීම සඳහා යතුරුපැදි ධාවනයේදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වූ හිස් වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය සූදානම් වෙද්දී එවැනි හිස් වැසුම් පැළඳ සිදුකළ තවත් කොල්ලයක් අද දෙහිවල - අත්තිඩියෙන් වාර්තාවුණා. එහිදී යතුරුපැදියකින් පැමිණි සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වූ හිස් වැසුම් සහ  කළු ජැකට් පැළඳගත් දෙදෙනෙකු  පෞද්ගලික බැංකුවක් කොල්ලකා  රැගෙන ගොස් තිබූ මුදල රුපියල් මිලියන දෙකකට ආසන්නයි.

පස්වරු 1 යි 45 ට පමණ අදාළ බැංකුවට ඇතුලූවුණු මෙම කොල්ලකරුවන් දෙදෙනා එහි ආරක්ෂක නිලධාරියාට පහරදී බැංකුව තුළට වෙඩි ප්‍රහාර 3 ක්ද එල්ල කර තිබුණා. පහරදීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මීට පෙරද මෙරට සිදුවූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ වූ අපරාධකරුවන් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන හිස් වැසුම් හෙවත් ෆුල් ෆේස් හෙල්මට් පැළඳ එම අපරාධ සිදුකිරීම සුලභ කරුණක් වුණා.  පසුගිය වසරේදී පමණක් එලෙස වාර්තාවූ සිද්ධීන් සංඛ්‍යාව 127 ක්. ඒ අනුව යතුරුපැදි ධාවනයේදී එවැනි හිස් වැසුම් භාවිත කිරීම මේ මස 21 වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය දක්වන්නේ වෙනත් මතයක්. සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වූ හිස් වැසුම් පැළඳීම තහනම් කිරීමේ නීතියට එකඟ නොවන ලෙස කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්  ඉල්ලා සිටියා.  උන්වහන්සේ කියා සිටියේ ඉස්ලාම් භක්තික කාන්තාවන්  මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන ගමන් කරන විට  අනන්‍යතාව පැහැදිළි කරගැනීම සඳහා අවස්ථාවක් නැත්නම් හෙල්මට් පැළඳීමේ නීතියද අනුගමනය නොකරන ලෙසයි.

Update: Tuesday, 03 March 2015 - 07:26 PM
...............................................................

දෙහිවල - අත්තිඩියේ පිහිටි පෞද්ගලික බැංකුවක් මීට ටික වේලාවකට පෙර කොල්ලකා තිබෙනවා. සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories