ජාතික කොඩිය තියෙද්දී තවත් කොඩියක් ?

Friday, 24 April 2015 - 19:20

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
මෑත කාලයේ පැවති රැස්වීම් සහ උද්ඝෝෂණ අවස්ථාවන් කිහිපයකදී සම්මත ක්‍රමවේදයට සකස් නොකළ ජාතික කොඩියට සමාන කොඩියක් ඇතැම් පිරිස් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුව අද (24) නීතිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා බවට පත්කළ යුතු බව පවසමින් පසුගියදා මහනුවර සහ රත්නපුර පැවති ජනරැළිවලදීද ජාතික කොඩියට සමාන මෙම කොඩිය ප්‍රදර්ශනය කර ඇති බව පිවිතුරු හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. වර්තමාන ජාතික කොඩියේ සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා දක්වා ඇති කොළ සහ තැඹිලි පැහැති තීරු දෙක ඊට සමානව සකස් කළ මෙම කොඩියේ ඇතුළත් වන්නේ නැහැ. එසේම මෙම කොඩිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ පැවති උද්ඝෝෂණයේදීද ඇතමුන් ප්‍රදර්ශනය කරන අයුරු එහි සිටි හිරු වාර්තාකරු එදින නිරීක්ෂණ කර තිබුණා. එසේම ඊයේ දිනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව එම කොමිසම ඉදිරිපිට ඊයේ පැවැත්වුණු උද්ඝෝෂණයේදීද මෙම ජාතික කොඩියට සමාන කොඩිය ප්‍රදර්ශනය කෙරුණා.

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වන්නේ 1815 මාර්තු 02 වනදායී. කෙසේ වෙතත්, මේ වසරේ මාර්තු 02 වනදා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ මගුල් මඩුව ඉදිරිපිටදීද ජාතික කොඩියට සමාන මෙම කොඩිය එසවීමට ගත් උත්සාහයක් පොලිසිය මැදිහත් වී ව්‍යර්ථ කළා. එය සංවිධාන කර තිබුණේ ස්වර්ණ හංස පදනම විසින්. ඔවුන් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දැරූ ජාතික කොඩියට සමාන කොඩියක් නැවත විවිධ අවස්ථාවන්හිදී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ස්වර්ණ හංස පදනමේ නිර්මාතෘ ගාල්ලගේ පුණ්‍යවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම ධජය වාරියපොළ සුමංගල හිමියන් උඩරට ගිවිසුම අත්සන් කරන දා එසවූ ජාතික කොඩිය බවයි.                                   

ඊයේ අල්ලස් කොමිසම ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සඳහා එම ජාතික කොඩි කිසියම් රාජ්‍ය නොවන සංවිධායනයකින් ලබාදී ඇති බවටද විවිධ පාර්ශව චෝදනා කරනවා. මෙම කොඩිය මහනුවරදී මාර්තු 02 වනදා එසවීමට උත්සාහ කළේ ස්වර්ණ හංස පදනමයි. ඒ අනුව අප ස්වර්ණ හංස පදනමේ නිර්මාතෘ ගාල්ලගේ පුණ්‍යවර්ධනගෙන් ඒ පිළිබඳව විමසීමක් කළා. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.                                                

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නව සම සමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අල්ලස් කොමිසම ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී භාවිත කළ කොඩියේ සිංහයා පිළිබඳ බරපතල ප්‍රකාශයක් සිදුකළා. ඔහු කියා සිටියේ එහි සිංහයා බලූ වී ඇති බවයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වර්ණ හංස පදනමේ නිර්මාතෘ ගාල්ලගේ පුණ්‍යවර්ධන කියා සිටියේ ඔහු ජාතියෙන් සමාව ගත යුතු බවයි.

මේ අතර, ඊයේ දිනයේ අල්ලස් කොමිසම ඉදිරිපිට භාවිත කළ ජාතික කොඩිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම කොඩිය සම්බන්ධයෙන් ඊයේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයට එක්ව සිටි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද අදහස් පළ කළේ ඒ පිළිබඳව සමාව අයදිමින්.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලද ඊයේ අල්ලස් කොමිසම ඉදිරිපිට දී ප්‍රදර්ශනය කෙරුණු ජාතික කොඩියට සමාන කොඩිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ මෙම සිද්ධිය පිළිබදව කණගාටු වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories