මෙන්න කොළඹ නව රථවාහන සැලසුම

Friday, 09 October 2015 - 20:40

%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8
කොළඹ සහ අවට නගරවල පවතින අධික වාහන තදබදයට පිළියමක් ලෙස නව රථවාහන සැලසුමක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
හෙට පෙරවරුවේ සිට අත්හදා බැලෙන නව රථවාහන සැලසුම ක්‍රියාත්මක වන්නේ, රාජගිරියේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා කොටසයි.

රාජගිරියේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා කොටසේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව රථවාහන සැලැස්ම කොටස් 2 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.
ඉන් එක් කොටසක් ක්‍රියාත්මක වන්නේ රාජගිරිය සිට ආයුර්වේද වටරවුම දක්වායි.

එම සැලැස්මට අනුව පාර්ලිමේන්තු පාරේ බත්තරමුල්ලේ සිට පැමිණෙන සියලු වාහන රාජගිරිය හංදියෙන් වැලිකඩ පොලිසිය ඉදිරියෙන් ඇති ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ගමන් කළ යුතු වනවා.
ඒ අනුව එම වාහනවලට රාජගිරිය හංදියෙන් කොටා පාර ඔස්සේ ගමන් කිරීමට හැකියාවක් නැහැ.



එමෙන්ම නාවල පාරේ සිට පැමිණෙන බස් රථ ඇතුළු වාහනවලට දකුණට හැරවීමට නොහැකි අතර එම වාහනද වමට හැරී ජයවර්ධන පුර පාර ඔස්සේ ධාවනය කළ යුතු වනවා. නැවත බත්තරමුල්ල දෙසට ගමන් කිරීමට අවශ්‍ය වාහන මැතිවරණ මහලේකම් කාර්යාලය ඉදිරියෙන් ඇති මාර්ගය ඔස්සේ කොටා පාරට පිවිස බත්තරමුල්ල දක්වා ගමන් කළ යුතුයි.





නව සැලැස්මට අනුව බොරැල්ලේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කරන වාහනවලට ආයුර්වේද වට රවුමෙන් ජයවර්ධන පාරට පිවිසිය නොහැකි අතර එම වාහන කොටා පාර ඔස්සේ ගමන් කළ යුතු වනවා. එසේම ඔබේසේකරපුර ඔස්සේ පැමිණ බොරැල්ල දෙසට ගමන් කිරීමට අවශ්‍ය වාහන කොටා පාරට පිවිස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති මාර්ගයෙන් හැරී බොරැල්ල දක්වා ගමන් කළ යුතුයි.





මෙම රථවාහන සැලැස්මේ දෙවන කොටස ක්‍රියාත්මක වන්නේ දේවි බාලිකා විද්‍යාල ඉදිරිපිට ඇති මංසන්ධියේ සිට නෙළුම් පොකුණ දක්වායි.
ඒ අනුව දේවි බාලිකා විද්‍යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා හෝර්ටන් පාර, නෙළුම් පොකුණ වටරවුම  දක්වා පමණක් ගමන් කිරීමට විවෘතවන අතර කොල්ලුපිටියේ සිට බත්තරමුල්ල දක්වා පැමිණෙන වාහනවලට වෙනත් විකල්ප මාර්ගයක් හදුන්වා දී තිබෙනවා.



ඒ, නෙළුම් පොකුණ වටරවුම පසුකර නන්දා මෝටර්ස්  අසලින් වමට හැරී නිදහස් වටරවුමට පිවිස ඉන් වමට හැරී මෙට්ලන්ඩ් පෙදෙසට පිවිස නැවත ග්‍රෙගරි පාරට හැරී කනත්ත හංදිය දක්වා ගමන් කර බත්තරමුල්ලට පැමිණීමයි.



මෙම නව රථ වාහන සැලසුම් දෙකේ අත්හදා බැලීමේ කටයුතු හෙට පෙරවරු 10.30 සිට 11.30 දක්වා සහ 11 වන ඉරිදා පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.45 දක්වා සිදු කෙරෙනවා.

අනතුරුව සතියේ දිනවල පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.45 දක්වා එය ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතර ලබන සඳුදා සිට මහරගම නගරයේද නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

නව සැලැස්මට අනුව මහරගම නගරය හරහා වැටී ඇති හයිලෙවල් මාර්ගයේ එක් මංතීරුවක් කොළඹ සිට හෝමාගම දෙසට රථවාහන ගමන් කිරීම සදහා විවෘතවනවා.
ඊට අමතරව එම මංතීරුව ඔස්සේ පැමිණෙන රථවාහනවලට මහරගම නගරයේ ඔරලෝසු කණුව අසලින් දෙහිවල මාර්ගයට ද ප්‍රවිශ්ඨ විය හැකියි.   



හෝමාගම සිට ගමනාන්තය සදහා මහරගමට පැමිණෙන බස් රථ කිසිවක් එක්වර බස් නැවතුම් පොළට ඇතුළු කිරීමේ හැකියාව අහිමිවන අතර ඒවා නාවින්න ක්‍රීඩාංගනය දක්වා  ගමන් කළ යුතුවනවා.



මහරගමින් ගමන් ආරම්භ කරන බස් රථ බස් නැවතුම් පොළට පැමිණීමට අවස්ථාව ඇත්තේ ගමන් ආරම්භ කිරීමට පමණයි.
නව සැලැස්මට අනුව ත්‍රී රෝද රථ නැවතුම් පොළ බෝගස අසලට ගෙනයන අතර එය ඉවත් කිරීමෙන් ලැබෙන ඉඩකඩෙන් දෙහිවල දෙසින් පැමිණෙන වාහනවලට පරණ පාරට පිවිස නැවත හෝමාගම දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.



මෙම සැලැස්මේ අත්හදා බැලීම ලබන 11 වන ඉරිදා පෙරවරු 9 සිට පෙ.ව. 10 දක්වා ක්‍රියාත්මක කිරිමට නියමිතයි.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories