වත්තලදී කසල ලොරියකට ප්‍රහාරයක් - දොම්පෙට කසල බැහැර කිරීම තාවකාලිකව නවතී

Saturday, 22 April 2017 - 19:32

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
කොළඹ එක්රැස් වන කැලි කසල මුතුරාජවෙල අභයභුමියට බැහැර කිරිමට එරෙහිව වත්තල - බෝපිටිය - නුගපේ ප්‍රදේශවාසින් අද (22) දිනයේත් අවස්ථා දෙකකදී විරෝධය පළ කළා.

එම අවස්ථාවට ප්‍රදේශයේ ආගමික නායකයින් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එම ප්‍රදේශයට කසල ලොරි පැමිණීමත් සමග පොලිසිය සහ පිරිස අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී විරෝධතාකරුවන් කසල රැගෙන ආ ලොරි රථයකට අලාභ හානි සිදුකර ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, විරෝධතාවය අතරතුර කසල බැහැර කිරීම සදහා පැමිණි ලොරි රථ එම ස්ථානයට රැගෙන ගිය බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

පසුව අද පස්වරුවේ ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ කතෝලික පූජකවරුන් අදහස් පළ කරමින් කියා සිටියේ මුතුරාජවෙල ප්‍රදේශයට කැලිකසල බැහැර නොකර වෙනත් ප්‍රදේශයකට කැලිකසල බැහැර කරන ලෙසයි.

මේ අතර, වේරහැර - කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ නිහඩ විරෝධතාවක නිරතවුණා.

එය සංවිධාන කර තිබුණේ වේරැස් ගඟ අවට පරිසරය සුරැකීමේ සංවිධානය විසින්.

කරදියාන කසල අංගනය අසල අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ  විරෝධතා වලක්වාලමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද පොලිසිය වාරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර, එහිදී අධිකරණය ප්‍රකාශ කර තිබුණේ සාමකාමී විරෝධතාවයක් පළ කළ හැකි වුවත්, මාර්ග අවහිර කරමින් කලහකාරි ලෙස හැසිරීම තහනම් බවයි.

වේරහැර - කරදියාන කසළ අංගනයට අදත් කසළ රැගත් ලොරි රථ 22 ක් පමණ පැමිණි බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයේ නිහඩ විරෝධතාව සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ විවිධ සංවිධානද එක්ව සිටියා.

ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අදහස් පළ කරමින් කියා සිටියේ දේශපාලන භේදයකින් තොරව පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සදහා මෙලෙස දිගින් දිගටම විරෝධතාවයේ නිරත වන බවයි.

කසල කළමනාකරණය කිරීමක් සිදු නොකර, කසල වෙනත් ස්ථානයකට දැමීම විසදුමක් නොවන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊට එක්වෙමින් කියා සිටියේ රජය කසල ගැටලූවට මහදැන මුත්තාගේ විසදුම් ලබාදීමට සූදානම් වන බවයි.

මේ අතර, කොළඹ නගර සභාව මගින් දොම්පේ - කිරිදිඇල ප්‍රදේශයේ පිහිටි මාලිගාවත්ත ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට කසල බැහැර කිරීමට විරෝධය පළ කරමින් අද කිරිදිවැල නගරයේ සියලූ වෙළදසැල් වසා දමා තිබුණා.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා දොම්පේ සංඝ සභා නාහිමිවරුන් කිරිදිවැල - පැපිලියවෙල විහාරස්ථානයකට රැස්වී සාකච්ඡා කළ අතර, අනතුරුව කසල කළමනාකරණ ව්‍යාපෘති අසලට පැමිණි උන්වහන්සේලා රැස්ව සිටි පිරිසට සෙත් පිරිත් සජ්ජායනා කර තිබෙනවා.

දොම්පේ කසල අංගනයට කොළඹ නගර සභාවේ කසල බැහැර කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර ද තහවුරු කළා.

එසේම, දොම්පේ කසල අංගනයට කසල ගෙන යාමට බාධා නොකරන්නැයි දන්වමින් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දස දෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණා.

නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක ඇතුළු දස දෙනෙකුට එරෙහිවයි එම නියෝගය නිකුත් කර තිබුණේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories