නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්

Thursday, 25 May 2017 - 10:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
පවතින අධික වර්ෂාවත් සමග මාතර, ගාල්ල රත්නපුරය සහ කළුතර දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල සහ අකුරැස්ස ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි එම ප්‍රදේශවල හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රදේශයේ පහත් බිම්ද අධික වර්ෂාවත් සමග ජලයෙන් යටව තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයේද පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අධික වර්ෂාපතනයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ගාල්ල - බද්දේගම, ගාල්ල - කරාපිටිය, ගාල්ල - අම්බලන්වත්ත සහ උඩුගම - බද්දේගම යන මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 8.30 න් අවසන්වූ ගතවූ පැය 24 ක කාලසීමාව තුළ  වැඩිම වර්ෂාපතනයද වාර්තාවූයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්.

ගාල්ල, බලපිටිය, බද්දේගම ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.  

ගාල්ල හිරු වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් කියා සිටියේ මේ වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයට තද වැසි ඇද හැලෙන බවයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා මේ වනවිට පිටාර ගලමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කැළණි සහ කළු ගංගා පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්  ඒ අවට පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බවයි.

වවුනියාව ප්‍රදේශයට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නගරයේ ස්ථාන කිහිපයක ගස්  කඩාවැටීම් වාර්තාවුනා.

වවුනියාව පොලිස් ස්ථානය අසළට පළු ගසක් කඩාවැටීමෙන් එහි නවතා තිබූ යතුරුපැදි පහකට සහ ට්‍රක් රථයකට ද හානි සිදුවී තිබෙනවා.

මේ අතර මාතලේ - රත්තොට - බණ්ඩාරපොල ප්‍රදේශය හරහා හමාගිය තද සුළඟකින් ගසක් අසළ පිහිටි නිවසකට කඩාවැටීම හේතුවෙන් වයස අවුරුදු හතක පාසල් සිසුවෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මීට අමතරව පස් කඳු කඩාවැටීම හේතුවෙන් දෙල්ගොඩ, ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපය තුළත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රත්නපුර, ගාල්ල, නෙළුව, දෙණියාය ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

මාස කිහිපයකින් වර්ෂාව නොලැබුණු ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ සිට තද වැසි ඇද හැලෙමින් පවතිනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැඩිම වර්ෂාපතනය ලක්ෂපාන විදුලිබලාගාරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැලී ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගංගා අවට පහත්බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි.   

රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළද නායයෑම් සහ ඉවුරු කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.   

මේ අතර උදෑසන 5.30 ට ඉදිරි පැය 48 සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වඩා තද වැසි ඇතිවන බවයි.

නිරත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම මීට හේතුවයි.

මේ අතර මන්නාරම සිට කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වන තද සුළං ඇති විය හැකියි.

එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රලු වනවා.

මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.






ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories