update: ආපදා මරණ 103 ක් දක්වා ඉහළට

Saturday, 27 May 2017 - 13:02

update%3A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+103+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දිස්ත්‍රික් කිිහිපයකට පවතින ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 103 දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් 113 දෙනෙකු අතුරුදන් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

update : Saturday, 27 May 2017 - 16.32
--------------------------------------------------------------------------

දිවයිනේ දිස්ත්‍රික්ක 14ක බලපා ඇති අයහපත් කාලගුණ හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පීඩාවට ලක්වූ සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකයි.

ජීවිතාරක්ෂක සහ සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.

ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්. මෙම දිස්ත්‍රික්ක 14රේ පවුල් 52,503 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 382  පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම පවුල් 2937කට අයත් පුද්ගලයින් 12,007 දෙනෙකු අවතැන් කදවුරු 69ක රදවා සිටිනවා.  

මේ අතර, කැළණි ගෙඟ් පහත්බිම් රැසක් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ජලයෙන් යට වී තිබෙනවා.

කොළොන්නාව, කැළණිය, බියගම, පාදුක්ක, හංවැල්ල, දොම්පේ, අවිස්සාවේල්ල මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයට මහ ගං වතුර තත්ත්වයක් අපේක්ෂා නොකරන බවයි.

මේ අතර, නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ගං වතුර බැමි වලට ඉහළින් ජලය ගලා යාම හේතුවෙන් එම බැමි කැඩී යාමේ අවදානමක් පවතින බව ගාල්ල හා මාතර වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමහවිතාන පවසනවා.

එම නිසා එම බැමි ආසන්නයේ පදිංචිකරුවන් ඉන් ඉවත් වන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ අතර, නිල්වලා ගඟ මාතර නගරය ආශ්‍රිත ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් මාතර - බණ්ඩත්තර ඇතුළු ප්‍රදේශ ගණනාවක අවදානම් තත්ත්වයක් මතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ නිසා නාඳුගල, බණ්ඩත්තර, වටගෙදර, මතුගල වේල්ල, පිලදූව සහ වේරගම්පිට ප්‍රදේශවල සිටින ජනතාවට කඩිනමින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

නිල්වලා ගෙඟ් ඉහළ ප්‍රදේශවලින් පැමිණෙන ජල ධාරා බණ්ඩත්තර, නාඳුගල වේල්ල අසළින් පිටාර ගැලීමේ අවදානමක් මතුවී ඇති හෙයිනුයි ඔවුන්ට මෙලෙස ඉවත්වීමට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර, මාතර මහරෝහලේ නිල්වලා ගඟ ආශ්‍රිත කොටසක් ජලයෙන් යටවී තිබෙනවා.

ගොඩගම ප්‍රදේශයේ ද මේ වන විට අඩි 4ක පමණ ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මාතර නගරයට අවට හිත්තැටිය, තුඩාව හා අවට පහත්බිම් මේ වන විට ජලයෙන් යටවී අවසන්.

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ අයගම, කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත ආදී ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී තිබෙනවා. ඇහැලියගොඩ, නිවිතිගල, කලවාන යන ප්‍රදේශවල නාය යාම් කිහිපයක් වාර්තා වුණා.

මේ අතර, කළු ගඟ පිටාර ගැලීමෙන් ඉමහත් දුෂ්කරතාවයට පත් රත්නපුර - කලවාන ප්‍රදේශය මේ වන විට මුළුමනින්ම පාහේ හුදෙකලා වී ඇති බව එහි ජනතාව පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ නාය යාම් සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 80 දෙනෙකු අතුරුදන් වුණා.

පස් කඳුවලට යට වී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙනවා.

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වූ අතර, නාය යාමේ අවදානම තවදුරටත් පවතින බවයි ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ.  

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.

නෙලුව ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් හමුදා සෙබලා ජීවිතක්ෂයට පත්වුණා.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ අද අලුයම මෙම සෙබලා ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඔහුගේ වයස අවුරුදු 37ක් වන අතර ඊයේ දිනයේදී සහන මෙහෙයුම් අතරතුර දී හෙලිකොප්ටරයේ කේබල් රැහැන කඩා වැටීමෙන් ඔහු ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

ගං වතුරට හසුවූ පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් මුදා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ආපදාවට ලක්වූවන් මුදා ගැනීම සඳහා නාවික හමුදාවෙන් කණ්ඩායම් 60කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

1500ක පමණ භට පිරිසක් යොදවා ජීවිතාරක්ෂක සහ සහන සේවා කටයුතු සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වී ඇති නිසා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර තරමක් තද සුළං බලාපොරොත්තු වන බවත්, වැසි ඇති වන අවස්ථාවලදී සුළෙඟ් වේගය තවදුරටත් ඉහළ යා හැකි බවත් එමගින් සඳහන් කළා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර සුළෙඟ් වේගය විටින් විට වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.

ඉදිරි දින දෙක තුළ දී වැසි තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි අතර, වැසි අඩුවීමක් අපේක්ෂා කරන්නේ ලබන මස මුල් සතියේදී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළා.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව අඩු වුවද වැසි තවදුරටත් ඇතිවුවහොත් ජල ගැලීම් තත්ත්වය ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ නිසා ආරක්ෂිත ප්‍රදේශවලට ගොස් සිටින ජනතාව තවදුරටත් එලෙස ආරක්ෂක පියවර ගත යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ටී.පී. අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories