රත්නපුරයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම් - නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි

Tuesday, 30 May 2017 - 13:50

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
වර්ෂාව ඇද හැලීමත් සමඟ කලවාන - කොස්වත්ත - පරකොලුවාගල කන්ද නාය යාමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශයේ සිටින පවුල් 40ක ජනතාව මේ වන විට කොස්වත්ත ගාමිණී විද්‍යාලයේ නවාතැන් ගෙන සිටිනවා.

එම ප්‍රදේශයේ පිහිටා ඇති කහවලකන්ද ද නාය යාමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම, රත්නපුර - පොත්ගුල් කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කළ පවුල් 20කට අයත් පුද්ගලයින් 100කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත මේ වන විට යොමු කර තිබෙනවා. කන්දෙහි ඇති වූ ගිලා බැසීමක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම පිරිස ඉවත් කෙරුණා.

දෙනියාය - බෙවරලි - නාතගල ප්‍රදේශයේ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ඒ අවට ජීවත් වන පවුල් 43ක පුද්ගලයින් ද අද උදෑසන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා.

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 7කට නිකුත් කෙරුණු නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම ක්‍රියාත්මක වනු ඇති.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, ඇලපාත, පැල්මඩුල්ල,  කහවත්ත, කොළොන්න, නිවිතිගල, කලවාන සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කඳු බෑවුම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් සිටින ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට සහ දෙහි ඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව මේ පිළිබදව අවදානයෙන් සිටිය යුතු වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ ගාල්ල, බද්දේගම, යක්කලමුල්ල, නෙලුව, තවලම, නියාගම, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව ද වැසි ඇති වුවහොත්, නාය යාමේ අවදානමක් පවතින බවයි.

මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, පස්ගොඩ, පිටබැද්දර සහ මුලටියන යන ප්‍රාදේශීය කොට්ඨාශවල ජනතාව ද අවදානයෙන් සිටිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට සහ බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙන්ම ඒ අවට ප්‍රදේශවල ජනතාව ද වැසි ඇති වූ වහාම ඒ පිළිබදව අවදානයෙන් සිටිය යුතු වනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශයේ නාය යාමේ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories