සිසුවිය සමූහ දූෂණ සිද්ධියේ මින් පෙර නොදුටු දෙයක් හෙළිවෙයි

Thursday, 27 July 2017 - 10:31

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය,කයිට්ස් පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන් , යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් ,ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන අයගේ ප්‍රධානත්වයෙන් යාපනය මහාධිකරණයේදි සිදුකෙරුනා.

ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් කුමාර් රත්නම් ගේ මෙහෙයවීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බි.එස්.තිසේරා සාක්ෂි ලබා දුන්නා.

"මම මේ වන විට රහස් පොලිසියේ අතුරුදහන්වූවන් පිළිබද විමර්ශන ඒකකයේ කටයුතු කරනවා. යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදි සිසුවියක් ඝාතනයට ලක් කර තිබෙනවා. ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කරන ලෙසට 2015 මැයි 19 වැනිදා මගේ ඉහළ නිළධාරියා දැනුම් දුන්නා. ඒ අනුව පසුදින මැයි 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක ජයවීර ඇතුළු කණ්ඩායමක් සමගින් මම යාපනයට පස්වරු 2.20 ට පමණ යාපනයට පැමිණියා. එදා යාපනයේ මාර්ගවල ටයර් පුළුස්සා තිබෙන බව දැකගන්නට ලැබුණා."

"යාපනයට පැමිණි අපි මුලින්ම යාපනය මූලස්ථාන පොලිසිය වෙත ගොස් මූලස්ථාන පොලිස් පරීක්ෂක බාලසූරිය හමුවුණා.සැකකරුවෙකු වන ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් ශෂිකුමාර් පැනයාම ගැන මම බාලසූරියගෙන් කරුණු විමසුවා.18 වැනිදා අදාළ සැකකරු පොලිසියට රැගෙන ආ බවත්, ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව මුදා හැරුණු බවත් පොලිස් පරීක්ෂක බාලසූරිය කිව්වා. එදිනම යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන්, පොලිස් කොස්තාපල්වරුන් වන අශෝක, ගුණපාල ,අන්බලගන්, දේශප්‍රිය යන අයගෙන්ද ප්‍රකාහ සටහන් කර ගත්තා."

"පසුදින එනම් 21 වැනිදා නම වැනි සැකකරු වු ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් ශෂිකුමාර් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ රැකවරණ යටතේ දැඩි පරිශ්‍රමයකින් අධිකරණය වෙත ඉදිරිපත් කළා. සැකකරු අධිකරණයට රැගෙනආවේ අධිකරණ‍ භුමියේ සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  මහතා හා පොලිස් පරීක්ෂක චින්තක බංඩාර විසින්."

"සාමාන්‍යයෙන් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ කරනු ලබන ස්ථානාධිපතිවරයා තමයි ඉදිරිපත් කරනු ලබන්නේ. පොලිසියේ ඉහළම නිළධාරියෙකු වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැකකරුවෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා මා මීට පෙර දැකලා තිබුණේ නෑ."

"එදිනම 21 වැනිදා අපි සිසුවියගේ මව වු සරස්වති ශිවලෝගනාදන්ගෙන් කට උත්තරයක් ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් එතෙක් විමර්ශනය කළ නිළධාරී‍න්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නයැයි මම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට උපදෙස් දුන්නා."

"පසුදින එනම් 22 වැනිදා කයිට්ස් පුංකුඩිතිව් ප්‍රදේශයට ගිහිල්ලා අපරාධය සිදුවුණ ස්ථානය හා අවට ප්‍රදේශ පරීක්ෂා කළා. පසුව 26 වැනිදා වවුනියාව බන්ධනාගාරයට ගිහිල්ලා සැකකරුවන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර ගත්තා."

"ඉන්පසුව සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන ප්‍රශ්න කර විමර්ශනය කිරීම සදහා ආරක්ෂක අමාත්‍ය වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවසරය ගත්තා."

"කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ සැකකරුවන් නම දෙනා දින 30 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන විමර්ශනය කළා. එම දින 30 අවසන් වීමෙන් අනතුරුව සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තවත් දින 30 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසරය ලබාගත්තා."

"සැකකරුවන් දින 60 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම හමුවේ ඔවුන් ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බව තහවුරු වුණා. ඒ අනුව ඔවුන් යටතේ අපරාධ නීතිය අනුව විමර්ශනය කිරීම් කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයක් කළා."

විත්තියේ නිතිඥ මහින්ද ජයවර්ධන - සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රකාශ අනුව නඩු භාණ්ඩ හමුවුයේද?

තිසේරා- ඔව්.07 වන සැකකරුගේ නිවසේ තීබි නඩු භාණ්ඩ හතරක් හමුවුණා.

විත්තියේ නීතිඥ- වෙන කිසිවක් සොයාගත්තේ නැද්ද?

සාක්ෂිකරු තිසේරා- සොයාගත්තා. ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකථන අටක්.

විත්තියේ නීතිඥ- ඒවා කාගේද?

සාක්ෂිකරු- ඒවා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් සොයාගත්තේ. ඒ පිළිබද සියළු විස්තර නිශාන්ත සිල්වා ළග තිබෙනවා.

විත්තියේ නීතිඥ- සොයාගත් දුරකථන හා ලැප්ටොප් යන්ත්‍රය විද්‍යා හා තාක්ෂණ මට්ටමෙන් පරීක්ෂා කළාද?

සාක්ෂිකරු- ඔව්.මොරටුව විශ්ව විද්‍යාලයට හා Zata නමැති ආයතනයට ලබාදුන්නා. කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එසේ කලේ.

විත්තියේ නීතිඥ- සිද්ධිය සිදුවු දිනයේ සැකකරුවන් කොහේ හිටියා කියලාද අනාවරණය වුණේ.

සාක්ෂිකරු- ඒ සම්බන්ධයෙන් අනාවරණ වු කරුණු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සතුව තිබෙනවා.

විත්තියේ නීතිඥ- සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන ප්‍රශ්න කරන්න හේතුව කුමක්ද?

සාක්ෂිකරු-

සිසුවියගේ මළ සිරුර තිබුණ ආකාරය බැලීමේදි සිසුවියට බරපතල ලෙස හිංසා කොට ඝාතනය කර ඇතැයි සැක පළ කළා.මෙය සාමාන්‍ය
ඝාතන‍යකුත් නොවෙයි.මේ දෙස බැලීමේදි මෙය ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ සිද්ධියක් මත සිදුවුවාක්ද යන්න සම්බන්ධයෙන් සැක මතුවුණා. එය තහවුරු කර ගන්න ඕන නිසයි එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කළේ.

විත්තියේ නීතිඥ- සිසුවිය හා සැකකරුවන් අතර ජාතීන් ආගම් ප්‍රශ්න තිබිලා තිබෙනවාද?

සාක්ෂිකරු - නැහැ. නමුත් සිරුර තිබුණ ආකාරය දකිද්දි මට හිතුනේ එහෙමයි.

විත්තියේ නීතිඥ- සාමාන්‍ය සිවිල් නීතිය යටතේ විමර්ශනය කිරීමට බාධා එල්ලවුණාද.

සාක්ෂිකරු - බාධා කිසිවක් එල්ලවුණේ නෑ. වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය මතයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට‍තේ විමර්ශන සිදුකළේ.

විත්තියේ නීතිඥ- ඔබගේ නිරීක්ෂණ අනුව සැකකරුවන් අල්ලස් ලබාදීමට උත්සහ කිරීමේ සිද්ධියක් අනාවරණය වුණාද?

සාක්ෂිකරු- බන්ධනාගාරයේ සිටින මොහොමඩ් ඉෆ්රාන් නැමැත්තා මාර්ගයෙන් නව වැනි සැකකරු වන ස්විස් කුමාර් රජයේ සාක්ෂිකරුවෙකු වීම සඳහා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදෙන්න උත්සහ දරලා තිබෙනවා. ඒ පිළිබද ඔහු අධිකරණයේ  සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කරලා තිබෙනවා.

විත්තියේ නීතිඥ- ඒ පිළිබද අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිළි කළාද?

සාක්ෂිකරු- නැහැ.

විත්තියේ නීතිඥ- සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ තමන් කියෙව්වාද?

සාක්ෂිකරු-

නැහැ. මම අධික්ෂණ නිළධාරියා පමණයි.මේ නඩුවේ විමර්ශන කරපු කාලයේම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම, ඇමති රවී කරුණානායකගේ රැස්වීමකට වෙඩි තැබීම, ඇවන්ගාඩ් විමර්ශනය වාගේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයෙව්වේ. මේ නිසා විද්‍යා සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සිදුකළා.

අනතුරුව විත්තියේ නීතිඥ සින්නරාසා කේදීශ්වරන් පැවසූවේ සාක්ෂිකරු හරියාකාරව විමර්ශනය නොකළ බවයි. එය ප්‍රතික්ශේප කළ තිසේරා පැවසූවේ තමන් රාජකාරි නිසි පරිදි ඉටුකළ බවයි.

විත්තිකරුවන් වන පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිතරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිදරන්(ස්විස් කුමාර්) යන සැකකරුවන් 09 දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කොට සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් , රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම් , ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන්  පෙනී සිටියා.

සිද්ධියට සම්බන්ධ  01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ  සහ නීතීඥ මහින්ද ජයවර්ධන  ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ  ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත්  ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ   රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා  ද පෙනී සිටියා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමුහ දූෂණය කර ඝාතනය කර තිබුනා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories