මංගල, මහින්ද ගැන කී අලුත් කතාව

Wednesday, 16 August 2017 - 17:26

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
පරාජිත වී විශ්‍රාම ගිය මෙරට එකම ජනාධිපතිවරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ව පරාජයට පත් කළ ජනතාවගෙන් පළිගැනීමේ චේතනාවෙන් තවදුරටත් කටයුතු කිරීම පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඒ, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින්.

හම්බන්තොට වරාය පෞද්ගලීකකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම තිගැස්මකට ලක්වී ඇති බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පළමුව සිහිපත් කළා.

පසුගිය පාලන සමයේ රටේ සම්පත් සින්නක්කරව විදේශිකයන්ට විකිණූ ආකාරය අමතක වී ඇත්දැයි අමාත්‍යවරයා සිය නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ඔහු විසින් උරුම කරදුන් ජාති ආගම් වශයෙන් බෙදුනු, අසමගියෙන් පිරුණු රට, සංහිඳියාවෙන් සුරක්ෂිත කරගැනීමට රජය සමත්වූ බවද එහි සඳහන්.   

කිසිදු ආර්ථික සැළසුමකින් තොරව පසුගිය රජය ලබාගත් ණය මනා ලෙස කළමනාකරණය කර ජනතාවට බරක් නොවන අයුරින් ගෙවාදැමීමේ ක්‍රමවේදයන් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

රටට සහ ආර්ථිකයට වාසිදායක අයුරින් හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම පිළිබඳව විකෘති අර්ථකථන ලබාදීමද දේශපාලන කුහකත්වයක් ලෙස ඔහු සඳහන් කරනවා.

එසේම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මෙන්ම රාජ්‍ය සම්පත් පෞද්ගලීකකරණය වැනි ව්‍යාජ කරුණු ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රට සහ ජනතාවට විශාල ද්‍රෝහිකමක් සිදුකරන බවයි අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ.

පහත දැක්වෙන්නේ ඔහු නිකුත් කළ සම්පුර්ණ නිවේදනයයි.

"ශ්‍රී ලංකාවේ පරාජිත වී විශ්‍රාම ගිය එකම ජනාධිපති ලෙස ඉතිහාස ගත වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, එදා තම දූෂිත පාලනය හේතුවෙන් තමන්ව පරාජයට පත්කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටීම, දෙවරක් රට පාලනය කළ ජනාධිපති කෙනෙකුට කෙතරම් නොහොබින දැයි තමන්ගෙන් ම ප්‍රශ්ණ කර ගැනීමට කාලය එළඹ තිබේ.

"හම්බන්තොට වරාය පෞද්ගලීකකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම මහත් තිගැස්මකට ලක් වුණා" යැයි ප්‍රකාශයක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට තම පාලන කාලය තුළ රටේ සම්පත් සින්නක්කරව විදේශිකයන්ට විකුණු ආකාරය අමතක වී දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

එපමණක් නොව කොළඹ වරායේ එක් පර්යන්තයක් 85% - 15% යන පදනමින් චීනයට බදු දුන් මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ද එම පදනමින් ම චීනයට බදු දීමට 2014 වසරේදී ගිවිසුමකට එළඹෙණු බව දැන් අමතක දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

මහින්ද රාජපක්ෂ රජය විසින් හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් වරාය ඉදිකිරීම සඳහා වන ණය තවදුරටත් ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට යටත්ව වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 350ට අධික මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ආයෝජනය කිරීමට සිදුවේ.

වසර දහයක් පමණ රට පාලනය කර පරාජිත වී විශ්‍රාම ගිය ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති වූ රාජපක්ෂ මහතා, ඔහු විශ්‍රාම යන විට රටට උරුම කර දුන්නේ ජාති ආගම් වශයෙන් කුළල් කා ගන්නා ජාතික අසමගියෙන් පිරුණු රටක් හා ඊනියා සංවර්ධනය මුවාවෙන් සියලු රටවැසියන් ණයකාරයන් කරමින් ඇති කරන ලද ජාතික ණයබරතාවක් මෙන් ම, ජාත්‍යන්තර මානව අයිතීන් කඩකිරීමේ චෝදනා ගණනාවකට ගොදුරු කර තිබූ, හුදකලා වූ රාජ්‍යයකි.

කෙසේවෙතත් පසුගිය දෙවසර පුරා අපි රජයක් විදිහට ජාතික සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයත්, ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එල්ල වී තිබූ චෝදනා කන්දෙන් නිදහස් කරගැනීමේ කාර්යයත් සාර්ථක කර ගැනීමට සමත් වූ බව සිහිපත් කරමි. එසේම ලෝකයෙන්ම හුදකලා වී තිබූ රටක් වෙනුවට ලෝකයේම අවධානය දිනාගත්, ජාත්‍යන්තර පිළිගැනීම හිමිකරගත් රටක් ලෙස ශ්‍රී ලාංකේය අභිමානය ගොනඩනැංවීමට අපට හැකි වූ බවද විශේෂයෙන් මතක් කිරීමට කැමැතියි.

මෙතෙක් කිසිඳු ආදායමක් නොදෙන සුදු අලියෙක් ව පැවති හම්බන්තොට වරාය රටට බරක් නොවන අයුරින්, ඒ සඳහා පසුගිය රජය අධික පොළියට ලබා ගත් ණය, ආයෝජනයක් ලෙස හරවා ඉදිරියේ දී තවත් ආයෝජන සමඟින් රැකියා උත්පාදන ව්‍යාපෘති බොහොමයක් සමඟින් සංවර්ධනය කෙරේ.
තමන් බලයේ සිටි සමයේ කොළඹ වරායේ පර්යන්තයක් බදු දුන් අතර හම්බන්තොට වරාය ද බදු දීමට ගිවිසුම්වලට එළඹූ මහින්ද රාජපක්ෂ මහතා මෙම රජය විසින් රටට හා ආර්ථිකයට වාසිදායක අයුරින් රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය සංවර්ධනය කරන විට එය රටේ සම්පත් විකිණීම හා පෞද්ගලීකරණය කිරීමකැයි විකෘති අර්ථ කථනයක් දීමට සැරසීම සැබවින්ම ඔහුගේ දේශපාලන කුහකභාවය  ප්‍රදර්ශනය කිරීමකි.
ශ්‍රී ලංකා දේශයට අයත් ගාලුමුවදොර හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හා වරාය නගරයේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිණීම මඟින් රටේ සම්පත් විදේශිකයන්ට විකුණූ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාස ගත වනු නොඅනුමානය.

සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වරාය හා ගුවන්තොටුපල වැනි මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශවලින් අධික පොළියට ණය ලබා ගන්නේ නැත. ණය වෙනුවට එය ගොඩනගා ක්‍රියාත්මක කොට පසුව පවරනු ලබන BOT යන පදනමින් ඉදිකිරීම සිදු කෙරේ. එහෙත් පසුගිය රජය නැව් නැති වරාය හා ගුවන් යානා නැති ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ගෙඩි පිටින් ණය ලබා ගැනීමට ඉදිරිපත් වූයේ එය හරහා තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන සැලකිලිමත් වූ නිසාය. එහෙත් ජනතාව මත කිසිදා නොවූ තරම් ණය බරක් පැටවීම මහින්ද රාජපත්ෂ මහතා හා ඔහුගේ සහචරයින්ට ප්‍රශ්නයක් නොවූයේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට වඩා සෑම දෙයකින් ම තමන්ට හා තමන්ගේ ගජ මිතුරන්ට ප්‍රතිලාභ අත්කර ගැනීම පමණක් ඔවුන්ගේ පාලන තන්ත්‍රයේ න්‍යාය පත්‍රයක් වූ හෙයිනි.

රාජපක්ෂ සමයේ දූෂණ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවත්නා පරීක්ෂණවලින් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ලඟම ඥාතීන්ට අයත් නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට අධික වටිනා (ඩොලර් මිලියන 30) දේපළ අධිකරණයේ හා රජයේ භාරයට ගෙන තිබේ.
තමන්ගේ හෝ තම පවුලේ කිසිවෙකුත් රුපියලක් හෝ සොරකම් කර තිබේ නම් තමන් බඩ කපා ගන්නවායැයි වහසි බස් දෙඩූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ එම පොරොන්දුව හිතාමතාම අමතක කර තිබීම හාස්‍ය ජනකයි.

නැව් නැති හම්බන්තොට වරායෙන් පාඩු පිට පාඩු ලබන අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වාර්ෂිකව ගෙවනු ලබන රුපියල් මිලියන 9,000ක ණය ප්‍රමාණය 2019 වසර වන විට රුපියල් මිලියන 17,360 දක්වා වැඩි වනු ඇත. මෙයට අමතරව ස්වෛරී බැඳුම්කර හරහා පසුගිය රජය විසින් ලබා ගත් විවිධ ණය එකවර ගෙවීම 2019 වසර වන විට කල් පිරෙන බැවින් ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම වන ඇමරිකාණු ඩොලර් මිලියන 4,200ක් 2019 වසර වන විට ගෙවීමට සිදු වේ.

කිසිදු ආර්ථික සැලසුමකින් තොරව මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය, මනා ලෙස කළමනාකරණය කොට ජනතාවට බරක් නොවන අයුරින් ගෙවීමට පහසුවන පරිදි සකස් කර, විදේශ ආයෝජන රටට ගෙනවිත් රැකියා දස ලක්ෂයක් දීමේ නව වැඩපිළිවෙළක් ද අපි රජයක් ලෙස මෙම වසරේ මුල දියත් කරන ලදි.

එහෙත් තම පාලන කාලය තුළ රට සංවර්ධනය කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන්ව ප්‍රතික්ෂේප කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම රජය මඟින් රට සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ප්‍රගතිශීලී පියවරයන් කඩාකප්පල් කිරීමේ නීච ක්‍රියාවක යෙදී සිටින්නේ ඇයි දැයි ජනතාවට තේරුම් ගත හැකිය.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ගොතන ලද මුසාවන් පතුරවන අතරතුර රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කරනවා, විදේශිකයන්ට රාජ්‍ය සම්පත් විකුණනවායැයි මුසා පතුරවමින් ජනතාව උසිගැන්වීමේ පන්සල් දේශපාලනයේ නිරත වෙමින් මහින්ද රාජපක්ෂ මහතා රටටත් ජනතාවටත් විශාල ද්‍රෝහිකමක් කරමින් සිටින බව පැහැදිලිය.

කෙසේ නමුත් රාජපක්ෂ මහතා සිය පාලන කාලය තුළ සිදුකළ වංචා, දූෂණ සහ බරපතළ අපරාධ වසා ගැනීමේ කඩතුරාවක් ලෙස හුදු ආණ්ඩු විරෝධයක් පෙන්වමින් සිදුකරන ප්‍රෝඩාකාරී මාධ්‍ය සංදර්ශන මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිසේත් අනුමත නොකරනවා ඇත. "



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories