වත්තේගමින් ශිෂ්‍යත්ව විභාගයටත් චෝදනා

Sunday, 20 August 2017 - 19:23

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
අද පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව මහනුවර - වත්තේගම - පරණගම මධ්‍ය මහා විද්‍යාල මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි සිසුන්ට කාලය පිළිබඳව ගැටළුවක් මතු වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම පාසලෙහි විභාගයට පෙනී සිටි තම දරුවන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවූ බවයි දෙමව්පියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටස උදෑසන 9.30ට ආරම්භවීමට නියමිතව තිබුණ ද එය ආරම්භ වී ඇත්තේ උදෑසන 9.35ට පමණයි.

කෙසේ වෙතත්, උදෑසන 10.15ට නියමිත පරිදි සිසුන්ගෙන් උත්තර පත්‍රය ලබාගෙන තිබෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 3014 කදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණා.

ඊට පෙනී සිටි අයඳුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 56,728 ක්.

කෙසේ වෙතත්, වත්තේගම - පරණගම මධ්‍යම මහා විද්‍යාල විභාග මධ්‍යස්ථානයේ දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සිදුවී ඇති බව කියන අපහසුතාවයන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ එම විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන්ට කිසිදු අසාධාරණයක් සිදුවී නොමැති බවයි.

එමෙන්ම හැටන් ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක දේව මෙහෙය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට බාධාකාරී තත්වයක් මතු වී තිබෙනවා.

හැටන් අධ්‍යාපන කලාපයට අයත් නගරයේ පවතින ප්‍රධාන පාසලකට යාබදව පිහිටි දේව මධ්‍යස්ථානයකයි මෙම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර ඇත්තේ.

කෙසේ වෙතත්, විභාග බලධාරීන් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එය සමථයකට පත් කර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර, සිය පියාගේ දේහය නිවස තුළ තිබියදී, හැඩූ කඳුළින් යුතුව දේහයට වැද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා නිවසින් පිටත් වූ දියණියක් පිළිබඳව සූරියවැව - සමගිපුර ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

අවුරුදු 52ක් වයසැති ඇගේ පියා අකල් මරණයකට ගොදුරු වූයේ මොළයේ පිළිකාවක් වැලදීම හේතුවෙන්.

එමෙන්ම මෙම දියණියගේ වැඩිමහල් සොහොයුරියක් ද මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.  

පියාගේ හදිසි වියෝවෙන් දියණියන් දෙදෙනාම දැඩි සංවේගයට පත්ව ඇති බවයි මව කියා සිටියේ.

එමෙන්ම වන අලි එලවා දැමීම සඳහා භාවිතා කරන අලි වෙඩිල්ලක් පත්තු වීමෙන් වැල්ලවාය - කුඩාඔය - යෞවනකුමාරපුර ප්‍රදේශයේ සිසුවෙකුට ශිෂ්‍යත්ව විභාගය අහිමි වීමේ පුවතක් ද අද වාර්තා වුණා.

දකුණු අතට තුවාල සිදුවූ මෙම සිසුවා මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිය පියා පත්තු කර දැමූ අලි වෙඩිල්ලක් පත්තු නොවී තිබීම නිසා මෙම සිසුවා එය ඇහිදාගෙන ගොස් ගිනිමැලයකට දමා ඇත්තේ ඊයේ දිනයේදියි.

පසුව එය පත්තු වී ඔහුගේ දකුණු අතට තුවාල සිදුවුණා.



මියගිය පියාගේ දේහයට වැද ශිෂ්‍යත්වය ලියන්න ගිය සූරියවැව දැරිය



 ඡායාරූප - සුරියවැව, නුවන් ජයසේකර





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories