අර්ජුන් මහේන්ද්‍රන් පැය ගණනක් සාක්ෂි දෙයි

Tuesday, 19 September 2017 - 19:05

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද පළමු වතාවට බැඳුම්කර කොමිසමේ සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබාදුන්නා.

ඔහු පෙරවරු 11.45 ට පමණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළ අතර, පැය 04 කට අධික කාලයක් මෙලෙස සාක්ෂි ලබාදුන් බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
 
හිටපු මහ බැංකු අධිපතිවරයා නියමිත වේලාවට බැඳුම්කර කොමිසමට පැමිණියත් ප්‍රථමයෙන් සාක්ෂි ලබාගත්තේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන්.

අද දිනයේත් ඔහු හා අර්ජුන් ඇලෝසියස් අතර සිදුවු දුරකතන සංවාද ශ්‍රවණය කිරීමට සැලැස්වූ අතර, එහිදී කසුන් පලිසේන පවසන්නේ 2026 වසරේදී කල් පිරෙන බැඳුම්කරවල පොලී අනුපාත පහතට ගෙන ඒමට නිව් චාලි නැමැති පුද්ගලයෙකු යොදා ගන්නා බවයි.

මෙහිදී නිව් චාලි කවුදැයි රජයේ නීතිඥවරයා ප්‍රශ්න කළත්, එය නොදන්නා බව කසුන් පලිසේන සඳහන් කළා. ඔහු පැවසුවේ නිව් චාලි කවුදැයි අර්ජුන් ඇලෝසියස් දන්නා බවයි.
 
පසුව ශ්‍රවණය කිරීමට සැලැස් වූ එම සංවාදයේ ඊලඟ දෙබසේදී අර්ජුන් ඇලෝසියස්, නිව් චාලි කවුදැයි කසුන් පලිසේනගෙන් විමසා සිටිනවා.

ඉන් පසු ඔහු කවුදැයි කසුන් පලිසේන පැහැදිලි කර දෙන්නේ ලිට්ල් ජොනී නැමැති තවත් කේත නාමයක් යොදා ගනිමින්.

ඒ සමඟම කොමිසම කසුන් පලිසේන දෙස බලා හාස්‍යය පළ කළ අතර, රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ කසුන් පලිසේන බොරුකාරයෙකු බවට අන් කවරදාටත් වඩා අද දිනයේ තහවුරු වූ බවයි.
 
නිව් චාලි හා ලිට්ල් ජොනී යනු කවුරුන්දැයි හෙළි කිරීමට කසුන් පලිසේන දිගින් දිගටම ප්‍රතික්ෂේප කරද්දී රජයේ නීතිඥවරයා පැවසුවේ ලිට්ල් ජොනී යනු සේවක අර්ථසාධක අරමුදලේ සමන් කුමාර බවයි.

නිව් චාලි යනු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නිලධාරියෙකු බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන පැවසුවේ කසුන් පලිසේන සහ අර්ජුන් ඇලෝසියස් වෙළඳපොලේ පොලී අනුපාත කෘතිමව වෙනස් කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ සඳහා නිව් චාලි, ලිට්ල් ජොනී වැනි පුද්ගලයින් රැසකට මිලියන ගණනින් සන්තෝසම් අර්ජුන් ඇලෝසියස් ලබාදී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.
 
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ප්‍රකාශ කළේ විමර්ශනයට අදාළ කාලයේ මාස 6 ක පමණ දත්ත අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථනයෙන් අස්ථානගත වී ඇති බවයි.

ඊට හේතු පැහැදිළි කරන ලෙස කොමිසම ඔහුට නියෝග කළා. අර්ජුන් මහේන්ද්‍රන් සාක්ෂි කූඩුවට නැගීමට පෙර ඔහුගේ නීතීඥවරයා වන ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා පැවසුවේ සිය සේවා දායකයා මෙරට පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන බැවින් රජයේ නීතීඥවරුන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බවයි.

එසේ නොවන්නේ නම් අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබාගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කිරීමෙන් පසු සාක්ෂි විමසීම ආරම්භ කෙරුණා.

එහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ සෑම පෞද්ගලික ප්‍රාථමික වෙළෙන්දෙකුටම සමාන අවස්ථා ලබාදීම සඳහා රහසිගත තැන්පතු ක්‍රමයෙන් බැඳුම්කර මිලට ගැනීම නැවැත්වීම සිය අභිලාෂය වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories