රිය අනතුරකට ලක් වූ ගැබිනි මවක් ගිලන් රථයෙන් ගෙනගිය වෛද්‍යවරයා

Tuesday, 17 October 2017 - 18:59

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
ගිලන් රථයේ රියදුරු නොමැති වුවද වෙනත් රියදුරෙකුගේ සහයෙන් රිය අනතුරකට ලක්වී රෝහලට රැගෙන ආ ගැබිනි මවක් සහ එම දරුවා බේරා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට රාජංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු කටයුතු කර තිබෙනවා.

අදාළ ගිලන් රථ රියදුරා නිවාඩු ලබාගැනීම හේතුවෙන් අසල රෝහල්වලට දුරකථන ඇමතුම් ලබා දී එම ගිලන් රථද ප්‍රමාද වූ හෙයින්  රාජංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රැක් ප්‍රදේශයේ වෙනත් රියදුරෙකු ලවා මෙලෙස ගිලන් රථය අනුරාධපුරයට රැගෙන ගොස්  තිබුණා.

අද (17) උදෑසන සැමියා සමගින් යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදී සති 36ක දරු ගැබක් සමඟින්  එම ගැබිනි මව යතුරු පැදියෙන් ඇදවැවීම හේතුවෙන් වෛද්‍යවරයාට මෙම තීරණය ගැනීමට සිදුවී තිබෙනවා.

බිරිදගේ කුසතුළ වසර හතකට පසුව වැඩුණු කුළුඳුල් දරුවාව බේරා දෙන ලෙස ඉල්ලමින් ඇගේ සැමියා රෝහල දෙවනත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වෛද්‍යවරයා වහාම ඒ පිළිබදව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් පවසා පිටස්තර රියදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙන ඒමට අවසර ලබා ගෙන තිබෙනවා.

පවුල් සෞඛ්‍ය සේවිකාවක් , තවත් සහායිකාවක්, රිය සහයක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැගී විදුලි වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී ප්‍රාදේශීය රෝහලේ කිසියම් සේවකයෙකු නිවාඩු ලැබූ ගිලන් රථයේ රියදුරාට මේ පිලිබඳ දන්වා තිබෙනවා.

ඉන් කිපුණු ගිලන් රථ රියදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තිය සමිති නායකයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්  වෘත්තිය සමිති නායකයා ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර ගිලන් රථය රෝහලට පැමිණෙද්දී විගණන ඒකකයේ නිළධාරීන් එම ස්ථානයේ රැදී සිටි බව සඳහන්.

මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු විගණන ඒකකයේ නිළධාරීන් වෛද්‍යවරයාගෙන්  ප්‍රශ්න කර ඇති අතර ගිලන්රථ වෘත්තිය සංගමයේ නායකයා ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා ලැජ්ජා වියයුතු බව පවසමින් අවලාද නගා තිබෙනවා.

එම අවස්ථාවේ වෛද්‍යවරයා පවසා ඇත්තේ තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරා ගැනීමටගත් උත්සහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් නැති වෘත්තිය සමිති නායකයන් ලැජ්ජා වියයුතු බවයි.
 
වෛද්‍යවරයා මේ පිළිබඳව පැමිණෙන ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ  අතර  අදාළ වෛද්‍යවරයාට එරෙහිව වහාම විගණනයක් පවත්වන ලෙස ගිලන් රථ වෘත්තිය සංගමයේ නිළයක් හොඹවන සේවකයෙකු අද (17) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වනවින එම ගැබිනි මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories