81 හැවිරිදි අසරණ මවගේ නිවස දියණිය බලෙන් ලියාගෙන

Wednesday, 18 October 2017 - 15:23

81+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
සිය මවගේ දුක සැප බැලීමට වසර 28 කට පසුව පැමිණි බාල දියණිය විසින් බලහත්කාරයෙන් අත්සන් ගෙන 81 හැවිරිදි අසරණ මව දිවි ගෙවන කුඩා නිවස ඔප්පුවකින් පවරාගත් ශෝචනීය පුවතක්‌ පදියපැලැල්ල උඩපදියපැලැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 
එන්. එන්. පී. ජී. චන්ද්‍රවතී හාමිනේ නමැති මෙම මාතාව දැනට වසර 8ක කාලයක්‌ තිස්‌සේ එම කුඩා නිවසේ දිවි ගෙවන්නේ සිය දරුවන් සය දෙනාගේ කිසිදු හව්හරණක්‌ නොමැතිවයි.

චන්ද්‍රවතී මාතාවට දියණියන් තිදෙනෙකු සහ පුතුන් තිදෙනෙකු සිටියත් ඔවුන් සියලු දෙනාම විවාහවී කොළඹ - හෝමාගම ප්‍රදේශවල පදිංචියට යෑමෙන් අනතුරුව පසුගිය වසර 28ක කාලය පුරාම මවගේ දුක සැප බැලීමට පැමිණ තිබුණේ නැහැ.
 
වසර 20 කට පෙර සිදුවූ ඇයගේ සැමියාගේ මරණයටවත් ඔවුන් නොපැමිණි අතර සැමියාගේ වියෝවෙන් පසුව ඇය කුලී වැඩ කරමින් ජීවිතය ගැටගසා ගෙන තිබෙනවා.

ඇයට කුලී වැඩ කිරීමට තරම්වත් මේ වනවිට ගතේ සවියක්‌ නොමැති අතර ගෙදර වියදම සරිකර ගන්නේ ඇයට ලැබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාවෙන්.

ඇයගේ දුක සැප බැලීමට බාල සොයුරිය නිතර පැමිණෙන බවයි වාර්තා වන්නේ.
 
චන්ද්‍රවතී හාමිනේ ඇයට සිදුවූ මෙම අසාධාරණය ඇයගේ මුවින් විස්තර කළේ මෙහෙමයි.

 "හෝමාගම කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටින මගේ බාල දියණිය වසර  28කට පසුව මාව බැලීමට ඇයගේ අනියම් සැමියයි, ළමයිනුත් එක්‌ක ආවම මට පුදුම හිතුණා. දින දෙක තුනක්‌ ඉඳලා ඒ අය ආපසු ගියා. සති දෙකකට පසුව දෙවැනි වතාවටත් ආවා. ඒ ආවහම ඇය කීවා අපි මේ ගේ කඩලා හදන්නයි ඉන්නේ. මේකට බාත්රූම් හදල, ටයිල් කරනවා. එතකම් ටකරම් දාලා පොඩි මඩුවක්‌ අම්මට හදල දෙන්නම් කියලා."
 
"පදියපැලැල්ල නගරයට අලුතින් හදන පාලම ඉදිකරන්නේ අපේ ගෙදර ළඟින්. අපේ ඉඩමත් අහුවෙන නිසා වන්දියක්‌ දෙන බවට ආරංචියි. මේ ආරංචිය ඇයටත් දැන ගැනීමට ලැබිල තියෙනවා. ඇය අවුරුදු 28කට පස්‌සේ මාව බලන්න ආවේ ඒ වන්දිය ගන්න කියලයි මම හිතන්නේ"
 
"දෙවැනි වතාවට ආපු වෙලේ දුව මට හෝමාගම ගෙදරට එන්න කියල බල කළා. ඉතින් මම එහේ යන්න කැමති වුණා. මගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාවත්  අරන් දුව ආපසු කොළඹ ගියා. ඊට දින දෙකකට පසුව මම තනියම කොළඹ බස්‌ එකේ පිටකොටුවට ගියා"

"එහේ දින දෙකක්‌ විතර හිටියා. මට හොඳටම අසනීප වුණා. පසුව මම හෝමාගම රෝහලට ඇතුළත් කළා. රෝහලේ දින 07ක්‌ හිටියා. ටිකට්‌ කපාගෙන ගෙදර ඇවිත් දින දෙකකට පසුව දුවයි ඇයගේ අනියම් සැමියයි මාව පෙරකදෝරුවෙක්‌ ළඟට එක්‌කගෙන ගියා"
 
"ඒ අය මට කීවා මගේ ගෙදර ඒ ගොල්ලන්ට 'උපකාරෙට' ලියල දෙන්න කියලා. මම ඒකට අකමැති වුණා. එතකොට පෙරකදෝරු මහත්තයා කීවා අම්මා බයවෙන්ට එපා. අම්මට ඕනෑ වෙලාවක මේක අවලංගු කරන්ට පුළුවන් කියලා. දුවයි - සැමියයි දිගින් දිගටම බල කළ නිසා මම බයටම අත්සන් කළා"
 
මේ ලෙසට නැවතත් ඇය පදියපැලැල්ලට පැමිණි පසු නිවසේ මුල් ඔප්පු එම නීතීඥවරයා නොදුන් හෙයින් අයගේ සහෝදරියන් පවසා ඇත්තේ ඇයව රවටා නිවස දියණිය පවරාගෙන ඇති බවයි.

ඇය ඒ පිළිබඳව මතුරට පොලිසියට පැමිණිලි කර ඇති අතර පැමිණිල්ල විභාග කිරීමේදී දියණිය පවසා ඇත්තේ මුල් ඔප්පුව දීමට නොහැකි බවයි.

නිවස අවශ්‍යනම් රු ලක්ෂ 8ක් දෙන ලෙසට දුවගේ අනියම් සැමියා දුරකථනය මගින් ඇයට මරණ තර්ජන සිදුකරන බවද ඇය පවසනවා.

මේ පිළිබඳව ඇය පොලිසියට දන්වා ඇති අතර එහිදී දිසා අධිකරණයේ නඩුවක්‌ ගොනුකරණ ලෙසටත් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙසටත් පොලිසිය ඇයට පවසා තිබුණා.
 
අනෙක් පුතුන්ට ඇය මේ පිලිබඳ පවසද්දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ "ගෙදර ලියල දුන්න නම් එයත් එක්‌කම බලාගන්න" යන ලෙසයි.

චන්ද්‍රවතී හාමිනේ අධිකරණ ඇමැතිතුමියගෙන් ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ සිදුවුණු මෙම අසාධාරණය පිළිබඳව සොයා බලා පිහිටක් වන ලෙසයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories