පුංචි ඡන්ද ගැසට් පත්‍රයට එරෙහිව වාරණයක්

Wednesday, 22 November 2017 - 18:34

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පළාත් පාලන ආයතනවලට අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡාවක් ලබන 25 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ, සීමානිර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් සළකා බලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාලව මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන මස 04 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය අද මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

එහිදී අභියාචනාධිකරණය සඳහන් කළේ අදාළ ගැසට් පත්‍රය මත පදනම් වී මැතිවරණයක් පැවැත්වුවහොත් එය ඡුන්ද දායකයින්ගේ අයිතිය උල්ලංඝනය කිරීමක් විය හැකි බවයි.

කොළඹ, මහනුවර, මාතර, ඇඹිලිපිටිය සහ හාලිඇල යන පළාත් පාලන බලප්‍රදේශවල පුද්ගලයින් 6 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

ඒ, 2017 වසරේ පෙබරවාරි මස 17 වැනිදා නිකුත් කරන ලද 2006/47 දරන ගැසට් පත්‍රය පෙත්සම විභාග කර අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙසත්, එය අවලංගු කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමින්.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලූණා.

පෙත්සමට අදාළ අතුරු තහනම ඇතුළත් නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල පැවසුවේ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සීමා නිර්ණ කමිටුව පත් කිරීමේදී සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බවයි.

අශෝක පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් එම සීමා නිර්ණ කමිටුවද බලය ඉක්මවා සීමා නිර්ණයත් සමඟ අදාළ කොට්ඨාශවල සභික සංඛ්‍යාව තීරණය කර ඇති බවද විනිසුරු මඩුල්ල නියෝගය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් අදාළ ගැසට් පත්‍රය නීත්‍යානුකූල නොවන බවයි විනිසුරු මඩුල්ලේ මතය වුණේ.

එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනමක් නිකුත් කළ අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ එදිනට පෙනී සිටින ලෙස නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පෙත්සමට මැදිහත්කරුවන් ලෙස එක්වී ඇති අතර, නිදහස් පක්ෂය අද දිනයේදී ඊට මැදිහත්වීමට අවසර ලබාගත්තා.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ පළාත් පාලන මැතිවරණය යළිත් කල් දමන්නේ දැයි අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් මුනිවත රකින බවයි.

මේ අතර අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් කියා සිටියේ මෙම නියෝගය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන 25 වනදා රැස්වී සාකච්ජා කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීමට අදාල නාමයෝජනා දිනය ඇතුලත් ගැසට් නිවේදනය මේ මස 27 වනදා නිකුත් කරන බව මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළා.

මේ අතර, අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයෙන් අනතුරුව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් අද මැතිවරණ කොමිසම වෙත පැමිණියා.  

එමෙන්ම, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories