ගම්පොළ තේ ජාවාරම

Saturday, 16 December 2017 - 19:00

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවා වන රුසියාව ලංකාවේ තේ ආනයනය තාවකාලිකව නතර කරද්දී මෙරට තේ ජාවාරමක් පිළිබඳව අපට අනාවරණ වුණා.

ගම්පොල ප්‍රදේශයේ සිට වරින් වර සිදුකරන කසළ තේ ප්‍රවාහනයක් පිළිබඳ තොරතුරු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබී තිබුණා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 23 වැනිදා මාකොළ ප්‍රදේශයේ රැක සිටිනා සංවිධානාත්මක අපරාධ කොට්ඨාස නිලධාරීන් එම ලොරි රථය අත්අඩංගුවට ගන්නේ එම ප්‍රදේශයේම පිහිටි ගබඩාවකට තේ රැගෙන යමින් සිටියදී.

පසුව සිදුකළ පරීක්ෂාවකදී එම ගබඩාව තුළ ඒ වන විටත් ගබඩා කර තිබූ තේ කිලෝග්‍රෑම් එක්ලක්ෂ 75ල000 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නවා.

ලොරියත් සමඟ එම ගබඩාවට පොලිස් ආරක්ෂාව යොදා පසුදින ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැමිණ අදාළ තේවල සාම්පල ලබාගැනීමට පොලිස් අපරාධ කොට්ඨාසය කටයුතු කරනවා.

එලෙස රැගෙන යන සාම්පල සම්බන්ධයෙන් ඔක්තෝබර් 26 වැනිදා වාර්තාවක් ද නිකුත් කරණවා.

එහි දැක්වෙන්නේ ලොරි රථයේ තිබූ තේ පරිභෝජනයට සුදුසුවන බවත්, ගබඩාවේ තිබූ කිලෝග්‍රෑම් එක්ලක්ෂ 75,000 අතරින් ලබාගත් තේ සාම්පල 44 න් බහුතරයක් පිරිසිදු වුවද සාම්පල දෙකක් සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

මෙම වාර්තාව පිළිබඳ සැකපහළ කරන පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් තේ මණ්ඩලයෙන් නැවත වාර්තාවක් කැඳවනවා.

ඉන් අනතුරුව තේ මණ්ඩල නිලධාරීන් සහ පොලිසිය නැවත තේ සාම්පල ලබාගැනීම සඳහා අදාළ ගබඩාවට පැමිණියද ඔවුන්ට සිදුවන්නේ හිස් අතින් හැරීයාමටයි.

ඒ, පොලිස් භාරයේ පැවති ගබඩාවේ තිබූ තේ කිලෝග්‍රෑම් එක්ලක්ෂ 75,000 ක් ඒ වන විටත් පිටරට යවා අවසන්වීම හේතුවෙන්.

පසුව ලොරියේ තිබු තේවලින් ලබාගත් සාම්පල්වලින් යළි පරීක්ෂණයක් ඇරඹෙන අතර එහිදී අනාවරණය වන්නේ එම තේ මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් විනාශ කර දැමීම සුදුසු බවයි.

තත්ත්වය මෙසේ තිබියදී තේ කොමසාරිස්වරයාගේ අත්සනින් නිකුත් වූ ලිපියකින් දන්වා ඇත්තේ මෙම තේ අපවිත්‍ර බවට නිකුත් කළ පෙර වාර්තාව වැරදීමකින් නිකුත් වූවක් නිසා එම වාර්තාව අවලංගු කරන ලෙසයි.

එකම තේ තොගයක් සම්බන්ධයෙන් පරස්පර වාර්තා ඉදිරිපත් වීම තුළින් තේ මණ්ඩලය අපට ඉඟි කරන්නේ මෙහි යම් අකටයුත්තක් සිදුවී ඇති බවද?

නැතහොත් තේ මණ්ඩලයට නිසි පරිදි වාර්තාවක්වත් නිකුත් කිරීමට නොහැකි බවද?

මෙම තේ තොගය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී පොලිස් භාරයේ ගබඩාවේ තිබූ තේ තොග නිදහස් කළේ කෙසේදැයි බලධාරීන් රටට හෙළි කළ යුතුයි.

කසළ තේ සම්බන්ධයෙන් පරීක්ෂණ දියාරු වෙද්දී ලංකාවේ තේ කර්මාන්තයට ඊයේ දිනයේ ප්‍රබල බලපෑමක් එල්ලවන්නේ අප ප්‍රධානම තේ ගැණුම්කරුවන රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය තාවකාලිකව නතර කිරීම හේතුවෙන්.

ඒ ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු තේ වල කුරුමිණියෙකු සිටීම හේතුවෙන්.

රුසියාවේදී තහනමට ලක් වූයේ මාකොළදී නිදහස් වූ තේ දැයි ජනතාවට සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.

මෙම ජාවාරමට සහය දුන් තේ මණ්ඩල ඇතැම් නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ සිද්ධිය යට ගැසීමට අල්ලස් ලබාදීමට ගත් උත්සාහයන් පිළිබඳවද තොරතුරු අප වෙත ලැබී තිබෙනවා.

මෙවැනි අකටයුතුකම්වලින් සිදුවන්නේ ලාංකීය තේවලට ඇති ජාත්‍යන්තර පිළිගැනීම පළුදු වීම නොවේද?

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා තේ සිදුකර ඇත්තේ අනුපමේය මෙහෙයක්.

මේ වන විට ක්‍රිකට්වලින් ඒ ගෞරවය අහිමි කරගනිමින් සිටින ශ්‍රී ලංකාව මේ උත්සාහ කරන්නේ ලංකා තේ යන නාමයත් ඉදිරියේ ඇති ගෞරවයත් අහිමි කරගන්නටද?



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories