බස් රථයේ පුපුරා ගිය අත් බෝම්බයේ හිමිකරු හෙළිවෙයි

Wednesday, 21 February 2018 - 18:26

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක ගිනි ගැනීමට හේතුව යුද හමුදා සෙබළෙකු භාරයේ තිබු ජීව අත් බෝම්බයක් පුපුරා යාම බවට මෙතෙක් කරන ලද මුලික විමර්ශණවලට හා සටහන් කරගෙන ඇති ප්‍රකාශ අනුව සැක කෙරෙන බව පොලිසිය පවසනවා.

මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුලු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ද නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශණ මෙහෙයවනවා.

එමෙන්ම විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ පොලිස් නිලධාරීන්ගේ සහය ද ඊට ලැබී තිබෙනවා.

අද උදෑසන 5.25 ට පමණ දියතලාව දක්වා ගමන් කරමින් තිබු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස ගිනි ගැනීමට ලක්වුනේ.

එහිදී බස් රථයේ ගමන් ගත් 19 දෙනෙකු තුවාල ලැබු අතර යුද හමුදා සෙබලුන් 7 ක්, ගුවන් හමුදා සෙබලුන් 5 ක් සහ සාමාන්‍ය පුද්ගලයන් 7 ක් ද එම පිරිසට අයත්.

කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි පොලිසිය කියාසිටියේ.

තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදුකර පාදයෙන් කොටසක් ඉවත් කළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ යාපනයේ සිට  බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බස් රථයකින් පැමිණි මගීන් පසුව දියතලාව දක්වා ධාවනය වන මෙම බස් රථයට නැග ඇති අතර, කහගොල්ල ප්‍රදේශය පසුකරමින් සිටියදියි පිිපිරීම සිදුව ඇත්තේ.  

මේ අතර යුද හමුදාව තහවුරු කළේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ පරීක්ෂණක්ද ආරම්භ කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.  

මේ අතර මෙම පිපිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රශ්ණ කිරීමකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පිළිතුරු ලබාදුන්නා.

පිපිරීමට හේතුව මගියෙකුගේ ගමන් මල්ලක තිබූ අත් බෝම්බයක් පුපුරා යාම බව යුද හමුදාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories