අර්ජුන මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන්, රතු වරෙන්තුවක්

Friday, 20 April 2018 - 13:27

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මෙම රතු නිවේදනය නිකුත් කර ඇති බවයි.

2015 පෙබරවාරි මස 29 වැනිදා සිදුකළ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි මස 02 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පළමු බී වාර්තාව ඉදිරිපත් කළා.

ඒ මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සැකකරුවන් ලෙස නම් කරමින්.

අර්ජුන් මහේන්ද්‍රන් ඒ වන විට සිංගප්පූරුවට ගොස් සිටීම හේතුවෙන්, පෙබරවාරි මස 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් සිංගප්පූරු පොලිසිය හරහා ඔහු වෙත නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළා.

ඊට අමතරව සීඝ්‍රගාමී තැපැල් සේවාව ඔස්සේ ද අදාල නොතීසිය අර්ජුන් මහේන්ද්‍රන් වෙත යොමුකළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කෙටි පණිවුඩ සහ ඊ - මේල් මගින්ද ඔහු දැනුවත් කිරීමට පියවර ගත්තා.

පෙබරවාරි මස 4 වැනිදා අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නමුත් අර්ජුන් මහේන්ද්‍රන් නොතීසිවලට කීකරු නොවී නඩුවෙන් මගහැර සිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ මාර්තු 15 වැනිදායි.

ඒ අතරතුර අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා නිල් නිවේදනයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එමගින් ඔහු සිංගප්පූරුවේ සිටින බවට තහවුරු වුණා.

මාර්තු 29 වැනිදා සැකකරුට එරෙහිව අධිකරණය යලි වරෙන්තු නිකුත්කළ අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අයදුම්පතක් යොමුකර ඇති බවයි.

අදාළ ඉල්ලීමට අනුව මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මෙලෙස රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සැඟව සිටින ඕනෑම රටක පොලිසියේ සහය ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම එරට පොලිසියට සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන අතර ඉන් අනතුරුව මෙරට විමර්ශන කටයුතු සඳහා සැකකරු භාර දිය යුතුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories