%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Tuesday, 13 August 2019 - 19:39
පළාත් කිහිපයකට තද සුළං සමඟ වැසි - ගංඟා 3 ක් අවදානම්
4,375

Views
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින සුළං සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රි කාලයේ සහ හෙට දිනය තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අනුව මධ්‍යම, සබරගමුව, පළාත්වල මෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, මාතර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මිලිමීටර් 75 ත් 100ත් අතර තද වැසි අපේක්ෂා කෙරෙනවා.

අද දහවල් 12.30 න් අවසන් වූ පැය 4 ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 110 ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, රත්නපුර ප්‍රදේශයටද මිලිමීටර 103.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශවලට අද පස්වරුවේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පියවර ගත්තා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර - කුරුවිට, ඇහැලියගොඩ, ඇළපාත සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහාත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට සහ දෙහි ඕවිට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහාත් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම අද පස්වරු හතරේ සිට ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද යළි විවෘත කෙරුණා.

ඒ හේතුවෙන් කැළණි ගෙඟ් ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

නෝටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේද තවදුරටත් වාන් දමමින් පවතින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ කළු, ගිං සහ කැළණි ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ දැරණියගල සහ කිතුල්ගල ප්‍රදේශවලින්ද විමසිලිමත්විය යුතු මට්ටමට පැමිණ ඇති බවයි.

ඒ අනුව අදාළ ගංඟා දෙපස සහ පහත්බිම්වල වාසය කරන ජනතාවට ගං වතුර තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩාවැටී තිබෙනවා.

මීට අමතරව ගිනිගත්හේන නගරයේ නායයෑම් අවදානම් සහිත තවත් වෙළඳසැල් 07 ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගිනිගත්හේන නගරයේ මීට පෙර නාය ගිය සහ එම අවදානමට ලක්වී ඇති වෙළඳසැල් 42 කට අමතරව තවත් වෙළඳසැල් 5 ක් නායයෑමේ අවදානමට ලක්වී ඇති නිසා එම පිරිසද ඉවත් කිරීමට පියවර ගත් බවයි.

මේ අතර පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා.

රත්නපුර - වේවැල්වත්ත මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු කඩාවැටීම නිසා එම මාර්ගය භාවිතයේදී විමසිලිමත් වන ලෙසද පොලීසිය දැනුම්දුන්නා.

මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කට ඉහළින් වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය ඉන්දියානු ගොඩබිම් ප්‍රදේශයට ඇතුලුවීම නිසා දිවයිනට නිරිත දෙසින් සුළං හමා ඒමයි.

මෙම තත්ත්වයත් සමඟ ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව අද නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයක දැක්වුණේ බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරුවේ සිට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

මීට අමතරව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මේ නිසා මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බව එමගින් දැනුම් දෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top