මත විමසුම ගැන විභාගය අවසන් - පළාත් සභා ඡන්දය ගැන තීන්දුව ජනපතිට

Friday, 23 August 2019 - 16:55

%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
පළාත් සභා මැතිවරණයක් මේ අවස්ථාවේ පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මත විමසුමට අදාළ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද පැවැත්වුණා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති මෙම විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇතුළත් රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමුකරන බව නිවේදනය කළා.

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ඇත්ද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා පසුගිය 9 වැනිදා අයදුම්පතක් යොමුකර තිබුණා.

අදාළ විභාගය ශ්‍රේෂඨාධිකරණයේදී අද පෙරවරුවේ ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේල සිසිරද ආබෘෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ.

ජනාධිපතිවරයා සිය මත විමසුම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රධාන ප්‍රශ්න 3ක් යොමුකර තිබුණා.

ඒ, සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී තිබියදී අදාළ ඡන්ද කොට්ඨාස සහ සීමා ගණන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ හැකිද ?

එම සීමා නිර්ණ කමිටු වාර්තාවේ විධිවිධාන යටතේ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබේද, එසේ නොහැකිනම් පෙර තිබූ පළාත් සභා පනත යටතේ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබේද යන්නයි.

නඩු විභාගය ආරම්භයේදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් යොමුකර ඇති මෙම මත විමසුමට අදාළව ශ්‍රේෂඨාධිකරණය වෙත අතරමැදි පාර්ශ්ව 13 ක් ලිඛිත දේශන ඉදිරිපත් කර ඇති බවයි.

අගවිනිසුරුවරයා ඔවුන් වෙත දන්වා සිටියේ ජනාධිපතිවරයා යොමුකරන ලද ප්‍රශ්න 3 කෙරෙහි පමණක් අවධානය යොමුකර කරුණු දැක්විම සිදුකරන ලෙසයි.

ඒ අනුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පළාත් සභාවල සීමා නිර්ණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරන ලද සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 139 කින් පරාජයට පත්ව ඇති බවයි.

එම සීමා නිර්ණ වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත්කළද එම කමිටුවේ වාර්තාව මෙතෙක් ඉදිරිපත්කර නොමැති බව ඔහු පෙන්වා දුන්නා.
 
ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මගහැර නීතිය අභිබවා ගොස් පළාත් සභා මැතිවරණයක් පැවැත්විමට හැකියාව තිබේද යන්න පිළිබඳ ප්‍රශ්නය  ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ දැඩිව අවධානය යොමුකළ යුතු බව ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා සඳහන් කළා.

සුනන්ද මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පළාත් සභාවල සීමා නිර්ණය කිරීම හා මැතිවරණය පැවැත්වීම පාර්ලිමේන්තුව හරහා විසඳා ගතයුතු කරුණක් වන බැවින් ඒ සඳහා විධායකයට මැදිහත් විය නොහැකි බවයි.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නිතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ සීමා නිර්ණය කමිටු වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු පංච පුද්ගල කමිටුවේ වාර්තාවක් නොමැතිව ජනාධිපතිවරයාට සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රකාශයට පත්කළ හැකිද යන්නයි.

එම වාර්තාව ලැබෙන තෙක් ජනාධිපතිවරයාට නෛතික වශයෙන් සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රකාශයට පත්කළ නොහැකි බවත් මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ විසඳාගත යුතු කරුණක් වන බැවින් අධිකරණය ඒ සඳහා මැදිහත් නොවිය යුතු බවත්ල ඊට පිලිතුරු දෙමින් නීතිඥවරයා පැවසුවා.

අතරමැදි පාර්ශ්වයක් ලෙස ඉදිරිපත්වි සිටි නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කටයුතු අඩාල කිරීමේ අරමුණින් රජය විසින් මෙම මත විමසුම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති බවයි.

ජනාධිපතිවරයා යොමුකර ඇති ප්‍රශ්න 3 හි තෙවන ප්‍රශ්නයට අධිකරණය පිළිතුරු දීමෙන් වැළකිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළා.

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරයාගේ විෂය පථයට අදාළ නොවීම ඊට හේතුව ලෙස නීතිඥවරයා වැඩිදුරටත් දැක්වුවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පාර්ලිමේන්තුවේ සිදුකෙරෙමින් පවතින සීමා නිර්ණ කටයුතුවලට අදාළව මෙම අවස්ථාවේ ඉන් පිටත පාර්ශ්වයක් වන අධිකරණය මැදිහත්වීමක් සිදුනොකළ යුතු බවයි.

පෞද්ගලික අතරමැදිකරුවෙක් ලෙස පෙනී සිටි නිතිඥ රංජිත් රාජපතිරණ මහතා ජනාධිපතිවරයාගේ පළමු ප්‍රශ්න දෙකට නැත යන පිළිතුර ලබාදුන් අතර,  ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන සර්වජන ඡන්ද බලය මුලික අයිතිවාසිකමක් බැවින් පැරණි ක්‍රමයට හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බව සඳහන් කළා.

කෙසේ වෙතත්, තවත් අතරමැදි පාර්ශ්වයක් වෙනුවෙනු පෙනී සිටි නීතිඥ විරාන් කොරෙයා මහතා සිය කරුණු දැක්වීමේදී සඳහන් කළේ පාර්ලිමේන්තු සමාලෝචන කමිටුවේ වාර්තාව ප්‍රමාදවී ඇති බැවින් සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පදනම් කරගනිමින් පළාත් සභා මැතිවරණයක් කරා යාමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බවයි.

අතරමැදි පාර්ශ්වයක් ලෙස ඉදිරිපත්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ජනාධිපතිවරයාට ප්‍රකාශයට පත්කළ හැක්කේ සීමා නිර්ණය පිළිබඳ පාර්ලිමේන්තු සමාලෝචන කමිටුවේ වාර්තාව පමණක් බවයි.

අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයක් වන නීතිඥ දසුන් නාගසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පැහැදිලි කළේ සීමා නිර්ණ කටයුතු අවසන් වී නොතිබීම මත පළාත් සභා මැතිවරණය පැවැත්විම දිනෙන් දින කල් යමින් පවතින බැවින් ඒ ඔස්සේ
ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය උල්ලංඝනය වී ඇති බවයි.

එබැවින් පැරණි ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් ඇති බව ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණිද සිල්වා මහත්මිය සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් යොමුකර ඇති මෙම මත විමසුමට අදාළව නීතිපතිවරයා විසින් සවිස්තර ලිඛිත දේශනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි.

2017 අංක 17 දරණ පළාත් සභා සංශෝධන පනත මේවන විට නීතියක් වශයෙන් බලාත්මකව පවතින බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ යටතේ සීමා නිර්ණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව අධිකරණයට දැනුම්දුන්නා.

එබැවින් ජනාධිපතිවරයා විසින් යොමුකර ඇති ප්‍රශ්න ත්‍රිත්වයටම නීතිපතිවරයා මෙම අවස්ථාවේදී සෘණාත්මක පිළිතුරු දක්වන බවත් සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව එම වාර්තාව ජනාධිපතිවරයාට යොමුකළ පසු එය ප්‍රසිද්ධියට පත්කර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වුවා.

සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයාගේ මත විමසුමට අදාළ විභාගය අවසන් කරමින් සඳහන් කළේ තම රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories