වැස්ස තවදුරටත් - නිල්වලා, ගිං සහ කළු ගංඟාවල, ජල මට්ටම් ඉහළට - රත්නපුරට සහ මාතරටත් නාය යාමේ අවදානම්

Tuesday, 24 September 2019 - 7:11

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F%2C+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%2C+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
දිවයිනට බස්නාහිර, දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වීම හේතුවෙන් දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් අවස්ථාවල මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි.

අධික වැසිත් සමඟ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද සහ හෙට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

පැවති වැසිත් සමඟ නිල්වලා, ගිං සහ කළු යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද, කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා මාතර, කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, පිටබැද්දර සහ වැලිගම යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 9කට පූර්ණ සිදුව ඇති අතර, නිවාස 66කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 89ක්. ග්‍රාම නිලධාරී වසම් 96ක පවුල් 1308කට අයත් පුද්ගලයන් 3500කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ යාම නිසා බද්දේගම, බෝපේ - පෝද්දල, නාගොඩ, තවලම, නෙළුව, අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය යන ප්‍රදේශවල ජනතාව ද අවදානයෙන් සිටිය යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

මේ අතර, කෑගල්ල, ගාල්ල, කළුතර යන දිස්ත්‍රික්ක 3ට අමතරව රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලට ද නාය යාමේ නිවේදන නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තා.

ඇදහැලුණු අධික වැසි හේතුවෙන් ගාල්ල - වදුරඹ - කොකාවල කන්ද නාය යාමෙන් නිවසක සිටි 36 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, ඉමදූව - බටපියස්ස ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් ද එහි සිටි 8 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, තවත් තුවාලකරුවන් 4 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ - 7 කෞතුකාගාරය ආසන්නයේ මාර්ගයකට ගසක් කඩා වැටී තිබෙනවා.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයටයි. එය මිලිමීටර් 219ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ, හියාරේ, හික්කඩුව, යක්කලමුල්ල යන ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories