නිශ්ශංක සේනාධිපති රිමාන්ඩ්

Thursday, 17 October 2019 - 17:56

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය නියෝග කළා.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කරනු ලැබුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.

විත්තිකරුගේ ක්‍රියා කලාපය අනුව හිතාමතාම අධිකරණය මග හැරීමක් සිදුකර ඇති බවයි විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ.

නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අජිත් පතිරණ තම සේවාදායකයා ලබන 21 වැනිදා තවත් බරපතල ශල්‍යකර්මයකට මුහුණදීමට සිටියදී අධිකරණයට ගරු කරමින් ස්ව කැමැත්තෙන් එහි පෙනී සිටීමට දිවයිනට පැමිණි බව කියා සිටියා.

ඒ අනුව ඔහුට ඇප ලබාදෙන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ විත්තිකරුගේ වෛද්‍ය වාර්තා තමන්ට ලැබුණේ අද නඩුව කැඳවීමට සුළු මොහොතකට පෙර බැවින් එකී වෛද්‍ය වාර්තා සත්‍ය වාර්තා දැයි අධිකරණ වෛද්‍ය නිලධාරීයා මගින් අධ්‍යයනය කර කරුණු දැක්වීමට දිනයක් ලබාදෙන ලෙසටයි.

ඒ හේතුවෙන් නිශ්ශංක සේනාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ. මෙම නඩුව ලබන මස 08 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් නිශ්ශංක සේනාධිපති අද අලූයම 12 යි 25 ට පමණ අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහු දහවල් කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories