2019+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+1336016%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 17 November 2019 - 15:49
2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 1336016කින් ජයගනී
19,149

Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂ 24255 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස අද තේරී පත්වුණා.

ප්‍රකාශිත ඡන්ද අතුරින් ඔහු ලබා ගත් මුළු ඡන්ද ප්‍රතිශතය සියයට 52.25ක්.

ජනාධිපතිවරණයේදී පරාජයට පත්වු සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට හැකි වුයේ ඡන්ද 55 ලක්ෂ 64239ක් පමණයි.

ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 41.99ක්.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ලියාපදිංචිව සිටි මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ 92096ක්. ඒ අතුරින් ඊයේ දිනය තුළ එක්කෝටි තිස්තුන් ලක්ෂ 87951ක් දෙනෙකු ජන්දය ප්‍රකාශය කර තිබුණා.

එය ප්‍රකාශිත ඡන්ද අතරින් සියයට 83.72ක ප්‍රතිශතයක්. එම ප්‍රකාශිත ජන්ද අතරින් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂ 24555ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට හැකි වුයේ ජන්ද 55 ලක්ෂ 64239ක් පමණයි. ඒ අනුව 2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද දහතුන් ලක්ෂ 6016කින් ජයගත්තා.

මෙවර ජනාධිපතිවරණයේ තුන්වන ස්ථානය දිනාගත්  අනුර කුමාර දිසානායක ඡන්ද හාරලක්ෂ 18553ක් ලබා ගත් අතර එය ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵලයෙන් සියයට 3.16ක්.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කර ජයගත් මෛත්‍රීපාල සිරිසේන ඡන්ද හැට දෙලක්ෂ 17162ක්  ලබා ගත් අතර, මෙවර එම පක්ෂයෙන් තරගවැදි සජිත් ප්‍රේමදාස ලබාගත්තේ ඊට වඩා ජන්ද හයලක්ෂ 52923ක් අඩුවෙන්.

එය සියයට පනස් එකයි දශම 28ක් ලෙස පැවති ඡන්ද ප්‍රතිශතය සියයට 41.99ක් දක්වා වැඩිවීමක්.

පසුගිය ජනාධිපතිරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඡන්ද පනස් හත් ලක්ෂ 68090 ක් ලබා ගත් අතර මෙවර ගෝඨාභය රාජපක්ෂ ඊට වඩා ඡන්ද එකළොස් ලක්ෂ 56565ක් ලබා ගෙන තිබීමද විශේෂත්වයක්.

එය 2015 වසරේ හිමිවු සියයට 47.58ක ජන්ද ප්‍රතිශතය සියයට 52.25ක් දක්වා වැඩිවීමක් වනවා.

2019 ජනාධිපතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වුනේ වැඩි ඡන්ද එක්ලක්ෂ 67792ක් ලබා ගනිමින්.

මෙවර ගෝඨාභය රාජපක්ෂ ජයගත් කොළඹ දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ජයගෙන තිබුණේ මෛත්‍රීපාල සිරිසේනයි.

2015 ජනාධිපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජයගත් රත්මලාන, කොලොන්නාව, මොරටුව සහ කෝට්ටේ ඡන්ද බල ප්‍රදේශ මෙවර ගෝඨාභය රාජපක්ෂ ජයගෙන තිබීම විශේෂත්වයක්.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද 2084කින් ජයගත් කඩුවෙල ජන්ද බල ප්‍රදේශය මෙවර ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 57060කින් ජයගෙන තිබෙනවා.

ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදි  වැඩි ජන්ද 13 879කින් ජයගත් හෝමාගම ජන්ද බලප්‍රදේශය මෙවර වැඩි ජන්ද 65 945කින් ජයගෙන තිබීමද විශේෂත්වයක්.

පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන වැඩි ඡන්ද 4660කින් ජයගත් ගම්පහ දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මෙවර ජයගත්තේ වැඩි ඡන්ද තුන්ලක්ෂ 61199කින්. එය මෙවර ජනාධිපතිවරණයේදි වැඩිම ඡන්ද පරතරයකින් ජයගත් දිස්ත්‍රික්කය වනවා. එම දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන ජයගත් කටාන, ජා ඇල සහ කැළණිය ජන්ද බල ප්‍රදේශද මෙවර ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා.

කළුතර දිස්ත්‍රික්කයද වැඩි ඡන්ද එක්ලක්ෂ 98707කින් ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත්වුණා. පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන වැඩි ඡන්ද 13856කින් ජයගත් බේරුවල ඡන්ද බලප්‍රදේශය මෙවර තියුණු තරගයකින් පසු වැඩි ඡන්ද 383 කින් ජයගත්තේ ගෝඨාභය රාජපක්ෂයි.

ඊට අමතරව මෙවර සජිත් ප්‍රේමදාසට සහාය පලකල කුමාර වෙල්ගම නියෝජනය කරන මතුගම ආසනයද ගෝඨාභය රාජපක්ෂ වැඩි ජන්ද 24480කින් ජයගැනිම විශේෂත්වයක්.

පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන වැඩිඡන්ද 88409කින් ජයගත් මහනුවර දිස්ත්‍රික්කය මෙවර ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 54147කින් ජයගැනීමට සමත්වුණා.

2015දි මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කල කුණ්ඩසාලේ, හාරිස්පත්තුව, තෙල්දෙනිය හා යටිනුවර ඡන්ද බලප්‍රදේශ මෙවර ගෝඨාභය රාජපක්ෂ විසින් ජයග්‍රහණය කලා. මාතලේ දිස්ත්‍රික්කයද වැඩි ඡන්ද 53530කින් ජයගත්තේ ගෝඨාභය රාජපක්ෂයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය ජයගැනිමට සජිත් ප්‍රේමදාස සමත්වු අතර එහිදි ඔහු ලබා ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ 2090ක්. වැඩි ඡන්ද දෙලක්ෂ 48747කින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජය තහවුරු කරගැනිමට ගෝඨාභය රාජපක්ෂ සමත්වුනා.

මාතර දිස්ත්‍රික්කයද ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද දෙලක්ෂ 25455කින් ජයගත් අතර එම දිස්ත්‍රික්කයේ පසුගිය වර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වු මාතර ඡන්ද බල ප්‍රදේශය වැඩි ඡන්ද 25,456 කින් ජයගැනීමද විශේෂත්වයක්.

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයද වැඩි ඡන්ද එක් ලක්ෂ 69,898කින් ජයගත්තේ ගෝඨාභය රාජපක්ෂයි. එහිදි සජිත් ප්‍රේමදාසගේ ඡන්ද බල ප්‍රදේශය වන තිස්සමහාරාමය ආසනයද ඔහු පරාජයට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජයගත්තා. එහි විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ ලබා ගත් වැඩි ඡන්ද 27569 මෙවර ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 48117ක් දක්වා වර්ධනය කර ගැනිමයි. යාපනය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 89461කින් ජයගැනිමට සජිත් ප්‍රේමදාස සමත්වුණා.

මීට අමතරව ඔහු වන්නි දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක්ලක්ෂ 48634කින්, මඩකලපුව දිස්ත්‍රික්කය වැඩි ඡන්ද දෙලක්ෂ එකසිය අසුනවයකින්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ 24615කින් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක්ලක්ෂ 12706කින් ජයගත්තා. ගෝඨාභය රාජපක්ෂ කුරුණැගල දිස්ත්‍රික්කය ජයගත්තේ වැඩි ඡන්ද දෙලක්ෂ 35317කින්. 2015 ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන එම දිස්ත්‍රික්කයේ ජයගත් කුරුණැගල සහ මාවතගම ඡන්ද බලප්‍රදේශ මෙවර ගෝඨාභය රාජපක්ෂ ජයගෙන තිබෙනවා.

පසුගිය වර මෛත්‍රීපාල සිරිසේන වැඩි ඡන්ද 4322කින් ජයගත් පුත්තලම දිස්ත්‍රික්කය මෙවර ගෝඨාභය රාජපක්ෂ ජයගත්තේ වැඩි ඡන්ද  31404කින්. අනුරාධපුර දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද එක්ලක්ෂ 39875කින් ජයගත්තා.

පසුගිය වර මෛත්‍රිපාල සිරිසේන වැඩි ඡන්ද 42334කින් ජයගත් පොළොන්නරුව දිස්ත්‍රික්කය මෙවර ගෝඨාභය රාජපක්ෂ ජයගත්තේ වැඩි ඡන්ද 34867කින්. 2015 ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන වැඩි ඡන්ද 281කින් ජයගත් බදුල්ල දිස්ත්‍රික්කය මෙවර ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 24505කින් ජයගැනීම විශේෂත්වයක් වනවා.

එහිදි පසුගිය වර නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ජයගත් බදුල්ල ඡන්ද ප්‍රදේශයේ ජය හිමි කර ගැනිමට ගෝඨාභය රාජපක්ෂ සමත්වුණා. මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මොනරාගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක්ලක්ෂ 16 275කින් , රත්නපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ 83541කින් සහ කෑගල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 92452කින් ජයගත්තා.

ඒ අනුව සමස්ත දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක  22න් 16ක ජය ගෝඨාභය රාජපක්ෂ හිමිකරගැනීම විශේෂත්වයක්. මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට ජයගත හැකිවුයේ උතුර සහ නැගෙනහිර පලාත්වලට අයත් දිස්ත්‍රික්ක 05ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කය පමණයි.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top