ඉදිරි ආණ්ඩුව පිහිටුවීම ගැන විකල්ප 3ක්

Tuesday, 19 November 2019 - 12:53

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+3%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සතියේදී තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසූරිය පවසනවා.

කථානායක කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම සෙසු පක්ෂ නායකයින්ද කතානායකවරයා සමඟ සාකච්ජා කර ඇති බවයි.

එහිදී බොහෝ දෙනෙකු රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජන මතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඒ අනුව ක්‍රියාකළ යුතු බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී විකල්ප ක්‍රියාමාර්ග 03ක් සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති අතර ව්‍යවස්ථානුකූලව ලබන වසරේ මාර්තු 01 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ මහමැතිවරණය පැවැත්වීම එක් යෝජනාවක්.

මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරය ලබාදී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට අනෙක් යෝජනාව වනවා.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය කැමැත්තෙන් ඉවත් වී මහමැතිවරණයකට එළඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නව ජනාධිපතිවරයාට ඉඩ සැලසීම තවත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.

මෙම කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා තම පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැදවීමට කථානායකවරයා කටයුතු කරන බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් හෙට දින අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද නැතිනම් විපක්ෂය කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මීට අමතරව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද හෙට රැස්වන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හමුවේදී කතාබහට ලක්වීමට ද නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේදී එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අතර, එහිදී ඇතැම් පාර්ශව විවිධ මත පළ කරනු ලැබුවා.

සභානායක අමාත්‍ය කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම කණ්ඩායම ආණ්ඩුවට භාර දීමට සූදානමින් සිටින බවයි.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජයට හේතු පැහැදිලි කළා.

එහිදී ඔහු අදහස් දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සහ එම්.සී.සී. ගිවිසුම ඊට හේතුව බවයි. එමෙන්ම, පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් තමන් බිංගිරිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු මෙහිදී කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories