කොරෝනා, දකුණු ආසියාවටත් පැතිරේ - ඉන්දියාවේත් සැක සහිත 11ක්

Saturday, 25 January 2020 - 10:14

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+11%E0%B6%9A%E0%B7%8A
චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් පැතිරෙන කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ පළමු දකුණු ආසියාතික රට නේපාලයයි.

වූහාන් සිට පැමිණි 32 හැවිරිදි නේපාල ශිෂ්‍යයෙකු මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති අතර, මේ වන විට කත්මණ්ඩු නුවර බෝ වන රෝග සඳහා වූ රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.

මේ අතර, ඉන්දියාව ද කොරෝනා වෛරසය පිළිබදව වැඩි අවධානයකින් කටයුතු කරන අතර චීනයේ සිට පැමිණි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 11 දෙනෙකු රදවාගෙන විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ඉන් 7 දෙනෙකුම කේරළ වැසියන් වන අතර, මුම්බායි, බෙංගලූරු සහ හයිද්‍රාබාද් නගරවල ද මෙලෙස සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂා කෙරෙනවා.

මේ අතර, චීනයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීප අධීක්ෂණයක නිරත වන අතර බීජිං සහ වූහාන් නුවර චීන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වෛරසය කේන්ද්‍ර ගත වී ඇති වූහාන් ප්‍රාන්තය මෙන්ම චීනයේ අනෙකුත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ ද තානාපති කාර්යාල නිලධාරීන් අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා. හුබෙයි ප්‍රාන්තයේ, විශේෂයෙන් වූහාන් හි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබදව තානාපති කාර්යාලය වෙත විමසීම් ලැබෙමින් පවතින බව ද විදේශ සබදතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව වුහාන් හි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද යාවත්කාලීන කළ නවතම තොරතුරු ලබා ගැනීමට බීජිං තානාපති කාර්යාලයේ දුරකථන මාර්ග විවෘතව පවතින අතර, අවශ්‍ය වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ද කටයුතු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 100කට ආසන්න ප්‍රමාණය අතරින් නිවාඩු සමය නිසා දැනට එහි රැදී සිටින්නේ සිසු සිසුවියන් 25ත්, 30ත් අතර ප්‍රමාණයක් බව සඳහන්.

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අවම කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එම වෛරසය ආසාදන අවදානම අවම කිරීම සදහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.

වාර්ෂිකව චීන ජාතිකයින් දෙලක්ෂයක් පමණ ශ්‍රී ලංකාවේ සංචාරයන් හි නිරත වනවා. මේ නිසා කටුනායක, බණ්ඩාරනායක, ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන සියලූම මගීන් විශේෂ ස්කෑන් යන්ත්‍ර කිහිපයක් භාවිත කරමින් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙනවා.


    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories