පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඇප

Wednesday, 26 February 2020 - 15:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද ඇප මත මුදා හැරුණා.

ඒ ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර, ඉදිරිපත් කර ඇති හඬ පට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සාම්පල සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ලබාදී ඇති වාර්තාව හරහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරුන් සමග සාකච්ඡා කර ඇති බව තහවුරු වන බවයි.

නමුත්, ඔහු මීට පෙර ඒවා විකෘති කළ ඒවා බවට ප්‍රකාශ කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

සැකකාර මන්ත්‍රීවරයා ඔහුගේ වරප්‍රසාද භාවිත කරමින් නඩුවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සිදුකරමින් සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නා.

දැනට ලැබී ඇති හ`ඩපට ක්ලෝන කිරීමට අවශ්‍ය බවත්, එම ක්‍රියාවලිය සියයට 90ක්ම අවසන් බවත්, එහිදී ඔහු අධිකරණයට සඳහන් කළා.

එය දින කිහිපයක් තුළ අවසන් වනු ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවිට විමර්ශන වෙනත් මුහුණුවරක් ගැනීමට ද හැකියාව පවතින බවයි.

2015 ජනවාරි පළමුවනදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා විනිසුරු පද්මිනි රණවක සහ රන්ජන් රාමනායක අතර සිදුවූ සංවාදවල හඬ පට 33 ක් දැනට ලැබී ඇති අතර, ඉන් 12 කට ආසන්න ප්‍රමාණයක් විනිසුරුවරිය විසින් ආරම්භ කළ සංවාද බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව, ඇය විනිසුරුවරියක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ ලබා දුන් තීරණාත්මක නඩු තීන්දු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇත් ද යන්න විමර්ශනය කළ යුතු බවයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී කියා සිටියේ.

විනිසුරුවන් කිහිපදෙනෙකු නිවසට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර ඇති බව ද අනාවරණ වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සාකච්ඡා කළ එක්තරා විනිසුරුවරයෙකුගේ පෞද්ගලික දුරකථන අංකයක් ද මේ වනවිට ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

වැරදිකරු කවුරුන් ද සහ නිවැරදිකරු කවු ද යන්න තීරණය කරන්නේ සැකකාර මන්ත්‍රීවරයා බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ කෙසේදැයි අධිකරණයෙන් ප්‍රශ්න කළා.

එබැවින් එවැනි පුද්ගලයෙකුට ඇප ලබාදීම කිසිසේත් සුදුසු නොවන බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ.

අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මුලින් මානුෂීයව සබඳතා ගොඩනගාගෙන පසුව බලපෑම් කර ඇති බව හඬපට හරහා පෙනී යන බව ද ඔහු සඳහන් කළා.

විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් වන හඬපට අනුව එවැනි බලපෑමක් සිදුව ඇති බව පැහැදිලි බව ද නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියා.

මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබාදිය හැක්කේ වසරක කාලයක් පමණක් බවයි.

විනිසුරුන් 60 දෙනෙකු සමග සංවාද ඇතැයි ප්‍රකාශ කළත් අනාවරණ වී ඇත්තේ ඉන් තුන් දෙනෙකුගෙන් හඬ පට පමණක් බවයි එහිදී ඔහු කියා සිටියා.

අනතුරුව යළිත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වුවා.

වසර 5 කට බලයට පැමිණි පුද්ගලයෙකු විනිසුරුවරුන් සමග නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කෙතරම් බරපතලදැයි එහිදී ඔහු ප්‍රශ්න කර සිටියා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ වැඩතහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සමග ඇති වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් වන නඩුව ද අද නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් හමුවේ කැඳවුවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයා, නීතිපති ලබාදුන් නියෝග කඩ කිරීම හරහා රාජකාරිය පැහැර හැර ඇති බවයි.

ඒ අනුව, නීතිපතිවරයා සතු ව්‍යවස්ථාපිත බලතල අනුව විනිසුරු ගිහාන් පිලපිටියට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, ඊට අදාළ නියෝගය ලබන මස 2 වනදා ලබාදීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.





අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට
Tuesday, 31 March 2020 - 21:39

පුත්තලමෙන් හමුවූ කොරෝනා අසාදිතයා සමඟ ඉන්දුනීසියාවේ සංචාරය... Read More

අන්තර්ජාලය ඔස්සේ පාසල් ඉගෙනීම් කටයුතු ඇරඹේ
Tuesday, 31 March 2020 - 21:34

රට පුරා කොවිඩ් 19 ව්‍යාප්තවීමත් සමඟ දිවයිනේ පාසල් අන්තර් ජාලය... Read More

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද පස්වන දිනටත්
Tuesday, 31 March 2020 - 20:04

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ දැඩි දුෂ්කරතා... Read More