ආසනික් සහ බැර ලෝහ සහිත පොහොර මෙටි‍්‍රක් ටොන් 13,000ක් ගොවීන්ට බෙදා හැර ඇති බවට තොරතුරු

Friday, 28 February 2020 - 19:10

%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+13%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
සහනාධාර පොහොර ලෙස ගොවීන්ට බෙදාහැරීම සඳහා රජයේ පොහොර සමාගම් දෙක විසින් ආනයනය කළ පොහොර මෙටි‍්‍රක් ටොන් 13,000ක ආසනික් ඇතුළු බැර ලෝහ අඩංගු වී ඇති බව රසායනාගාර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමේදී හෙලි වූයේ මෙම පොහොර තොග මේ වනවිටත් ගොවීන්ට බෙදාහැර අවසන්ව ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ අනුමැතියට යටත්ව මේවා මෙරටට ආනයනය කර ඇත්තේ 2019 යල කන්නය සඳහායී.

ඉන් මෙටි‍්‍රක් ටොන් 12000ක් පමණ, සිංගප්පූරුවේ ගෝල්ඩන් බාර්ලි ඉන්ටර්නැෂනල් නැමැති පෞද්ගලික සමාගමක මෙරට නියෝජිතයෙකු හරහා ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම මිලදී ගෙන තිබෙනවා.

ඉතිරි පොහොර තොගය එම සමාගම් මිලදී ගෙන ඇත්තේ ඩුබායි හි ක්‍රියාත්මක ඇග්‍රි කොමඩිටි ඇන්ඩ් ෆයිනෑන්ස් නැමැති සමාගමේ මෙරට නියෝජිතයෙකු හරහායී.

කොමර්ෂල් පොහොර සමාගම ප්‍රශ්නගත මෙම පොහොර තොගය මෙරටට ගෙන්වීම සඳහා රුපියල් මිලියන 200 ක් පමණ වැයකර තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මස 05 වැනිදා ඒ සඳහා ගිවිසුම්ගත වී ඇති අතර, ඒවා මෙරටට ආනයනය කර ඇත්තේ එම වසරේ ජූලි මාසයේදීයි.

කෙසේ වෙතත්, 1988 අංක 68 දරන පොහොර නියාමන පනත යටතේ මෙරටට ගෙන්වන පොහොර බෙදාහැරීමට සහ අලෙවි කිරීමට පෙර පොහොර ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත යුතුයි.

ඒ අනුව මෙම පොහොර තොගයේ සාම්පල පොහොර ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් තත්ත්ව පරීක්ෂණාගාර තුළ පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී හෙලි වී ඇත්තේ අදාළ පොහොර තොගයේ ඊයම් සහ ආසනික් නැමැති බැර ලෝහ අඩංගු වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මේ මස 07 වැනිදා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂවරයා විසින් රජයේ පොහොර සමාගම් දෙකෙහි සාමාන්‍යාධිකාරීවරුන් වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා.

ඔහු එමඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ප්‍රමිතියෙන් තොර මෙම පොහොර තොගය අලෙවි කිරීමට සහ බෙදාහැරීමට අවසර ලබානොදෙන බවයි.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී කොමර්ෂල් පොහොර සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම පොහොර තොගය මේ වනවිට ගොවීන්ට සහනාධාර පොහොර ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා බෙදා දී අවසන් බවයි.

අදාළ පොහොර තොගය නැව්ගත කිරීමට පෙර සිදුකළ පරීක්ෂණයේ වාර්තාව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය පසුගිය වසරේ ලබාදුන් වාචික එකඟතාවයන් මත මෙම පොහොර තොගය ගොවීන්ට නිදහස් කළ බව කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ජයන්ත වීරරත්න කියා සිටියා.

අප මේ සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිලගෙන්ද විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පවතින නීතියට අනුව තමන් අදාළ නියෝගය පොහොර සමාගම් වෙත ලබාදුන් බවයි.

ඉදිරියේදී මහජනතාවගේ සෞඛ්‍යයට අහිතකර වන පොහොර වෙළඳපොලට මුදාහැරීමට ඉඩ ලබානොදෙන බව ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories