රුසියාව යළිත් සිරියාව වෙනුවෙන්.
2012 ජූනි 10 ඉරිදා- පෙරවරු 08:21
සිරියාවේ හමුදාමය මැදිහත්වීමකට තමන් තවදුරටත් එරෙහි වන බව රුසියාව පවසනවා. සිරියාවට එරෙහිව ජාත්‍යන්තර හමුදා මැදිහත්වීමක් අනුමත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දරන උත්සාහයට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් මෙලෙස විරුද්ධත්වය පළ කළා. ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆි අන්නන්ගේ සිරියානු සාම සැළැස්ම ක‍්‍රියාවට නැංවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කැඳවීමටයි ඔහු යෝජනා කළේ. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එරට පාලන බලයෙන් ඉවත්වීම රුසියාව අනුමත කරන්නේ එය සිරියානු ජනතා කැමැත්තෙන් සිදුවන්නක් වුවහොත් පමණක් බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. හැඟුම්බර වී අන්තවාදී ලෙස සිරියාවේ ජාත්‍යන්තර හමුදා මැදිහත්වීමක් සිදු නොකළ යුතු බවයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් පෙන්වා දුන්නේ. ලිබියාවේ මෙන් විපක්ෂයේ සන්නද්ධ ජයග‍්‍රහණයක් සිරියාව තුළද දිරිගැන්වීමට බටහිර රටවල් උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා. එය අනතුරුදායක ක‍්‍රීඩාවක් ලෙසයි රුසියානු විදේශ අමාත්‍යවරයා හැඳින්වූයේ.
