ශ්‍රේෂ්ඨාධිකරණය, පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කරයි.
2012 ජූනි 20 බදාදා- පෙරවරු 07:43
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට අග‍්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. අධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පාකිස්තාන අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ යූසුෆ් රාසා ගිලානි අග‍්‍රාමාත්‍ය ධුරයට සුදුසු නොවන බැවින් ඔහු තවදුරටත් පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළි නොගන්නා බවයි. මෙම තීන්දුවත් සමග හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ද අහිමි වනවා. පාකිස්තානු ජනාධිපති අසීෆ් අල් සර්දාරිට එල්ල වී ඇති ඳුෂණ චෝදනාවලට එරෙහිව නිසි කි‍්‍රයාමාර්ග නොගැනීම, හිටපු පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා එල්ල වී තිබූ චෝදනාව වනවා. එම සිදුවීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග කි‍්‍රයාත්මක නොකිරීම මගින් හිටපු අග‍්‍රාමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි තීන්දු කර තිබුණා. පාකිස්තානු අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දුව පසුගිය අපේ‍්‍රල් 26 වැනිදා සිට බලපැවැත්වෙන අතර, එතැන් සිට අග‍්‍රාමාත්‍යවරයා ගනු ලැබූ සියලූ තීන්දු තීරණ ද බලරහිත වනු ඇති. ඒ අනුව ඉදිරි වසර සදහා වන පාකිස්තානු අය වැය ද බලරහිත වන බවයි අධිකරණය තීන්දු කර ඇත්තේ. පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණයත් සමග රජයට සහාය දක්වන පක්ෂ හදිසි රැස්වීමක් කැඳවා තිබුණා. එහිදී ඉදිරියේ දී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබදව සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අධිකරණය ලබාදුන් තීන්දුවට පක්ෂව හෝ විපක්ෂව වීථි නොබසින ලෙස එම දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම තත්ත්වය යටතේ පාකිස්තානු කැබිනට් මණ්ඩලය ද අස්ථාවර වී ඇති අතර, දැනට පාකිස්තානු අග‍්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩුව පවතිනවා.
