ගිලූණු සංක‍්‍රමණික යාත‍්‍රාවේ ජීවිතාරක්ෂක මෙහෙයුම නවතී.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 01:37
ඔස්ටේ‍්‍රලියාවේ නත්තල් දිවයින ආසන්නයේ අනතුරට ලක් වූ සංක‍්‍රමණික යාත‍්‍රාවේ සිටි පුද්ගලයන් මුදා ගැනීම සඳහා වූ ජිවිත ආරක්ෂක මෙහෙයුම ඊයේ රාත‍්‍රියේ නතර කෙරුණා. අතුරුදන් වූ 90 කට වැඩි පිරිස් අතුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් සිටීම පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකිවීම ඊට හේතුවයි. ගිලූණු යාත‍්‍රාවෙන් අවසන් වරට මෙලෙස දිවි ගලවා ගත් පුද්ගලයෙකු හමු වූයේ පෙරේදා රාත‍්‍රියේයි. නත්තල් දිවයිනට උතුරෙන් වූ මුහුදේ සිදුකල සෝදිසි මෙහෙයුමේදී වෙනත් කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වූ බව ඔස්ටේ‍්‍රලියානු නාවික ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා. මුහුදෙන් සහ ගුවනින් කළ සෝදිසි මෙහෙයුම්වලින් එලෙස ජිවිත පිළිබඳ සලකුණක් නොලැබුණ බවයි එමගින් කියා සිටියේ. ඉන්දීය සාගරයෙන් පැමිණි නීති විරෝධී සංක‍්‍රමණිකයන් 200 කට වැඩි පිරිසක් රැගත් මෙම යාත‍්‍රාවෙන් පුද්ගලයන් 110 දෙනෙකු බේරා ගැනීමට හැකිවුණා. සෝදිසි මෙහෙයුමේදී හමුවූයේ මළ සිරුරු 6 ක් පමණයි.
