පාකිස්තානය පරදවා ශ‍්‍රී ලංකාව ජය ගනී.
2012 ජූනි 25 සඳුදා- පස්වරු 07:00
පාකිස්තානය සමග ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 209ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ‍්‍රී ලංකාව අද (25) සමත් වුණා. ලකුණු 510ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන පිළ අද (25) තරගයේ සිව් වැනි දිනය අවසාන වීමට සුළු වේලාවකට පෙර දැවී ගියේ ලකුණු 300කටයි. පාකිස්තාන පිළ වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී යූනිස් ඛාන් ලකුණු 87ක් ලබා ගත් අතර අසාද් ශෆික් ලකුණු 80ක් ලබා ගත්තා. පන්දු යැවීවේ දී නුවන් කුලසේකර ලකුණු 48කට කඩුලූ 3ක් බිද හෙළූ අතර, සුරාජ් රන්දීව් ලකණු 86කට කඩුලූ 3ක් බිද හෙලූවා. පන්දු වාර 42ක් යැවූ රංගන හේරත් ලකුණු 91කට කඩුලූ 2ක් දවා ගත්තා. නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු ලකුණු 56ට එක් කඩුල්ලයි. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ශ‍්‍රී ලංකා පිළේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 199ක් ලබාගත් කුමාර් සංගක්කාරයි. මෙම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකා පිළ තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටිනවා. මෙය පාකිස්තානයට එරෙහිව ශ‍්‍රී ලංකාව වාර්තා කළ විශාලතම ටෙස්ට් ජයග‍්‍රහණය ද වනවා. එමෙන්ම අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලන ටෙස්ට් දර්ශකයේ අංක එකේ පසුවන එංගලන්ත පිළ පරදවා ජය ගත් තරග තුන ඇතුළුව පිට පිට ටෙස්ට් තරග 5ක් ජයගෙන සිටි පාකිස්තාන පිළේ ජයග‍්‍රාහී ගමන ඒ සමග නතර වුණා.
