රුසියානු ජනපති අද බෙත්ලෙහෙමට.
2012 ජූනි 26 අඟහරුවාදා- පස්වරු 12:50
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊශ‍්‍රායලයේ සංචාරයක් සඳහා පැමිණ සිටිනවා. ඔහු මෙලෙස මැදපෙරදිග චාරිකාවක නිරත වන්නේ සත් වසරකට පසුවයි. රුසියාවේ සහාය ලබන ඉරානය සහ සිරියාව පිළිබදව ඊශ‍්‍රායලය ජනාධිපති පුටින් සමග සාකච්ඡා කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් කි‍්‍රයාත්මක කරන ලෙස ඊශ‍්‍රායලය මෙහිදී රුසියානු නායකයාගෙන් ඉල්ලා තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයේ දී මිය ගිය යුදෙව්වන් සිහි කරන ස්මාරකයක් ජනාධිපති පුටින් විසින් නෙතන්යා හිදී ඊයේ (25) විවෘත කළා. එමෙන්ම ඔහු අද (26) පලස්තීන බටහිර ඉවුරේ ද චාරිකා කිරීමට නියමිතයි. ජනාධිපති පුටින් බටහිර ඉවුරේ බෙත්ලෙහෙම් නුවර දී පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් සමග අද (26) සාකච්ඡාවක නිරත වනු ඇති. වසර දෙකක සිට නතර වී ඇති සාම සාකච්ඡා යළි ආරම්භ කරන ලෙස එහිදී පලස්තීන නායකයාගෙන් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂිතයි. ඊශ‍්‍රායලය බිහිවීමේ දී පැරණි සෝවියට් සංගමයෙන් යුදෙව් සංක‍්‍රමණිකයන් මිලියනයක් පමණ පැමිණියා. මේ නිසා රුසියාව සහ ඊශ‍්‍රායලය අතර පවතින්නේ ශක්තිමත් සංස්කෘතික සබඳතාවක්.
