රුසියාවත්, සිරියාවට එරෙහි වෙයි.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පස්වරු 06:50
සිරියාව පිළිබඳ ජගත් සංවිධාන නියෝජිත කොෆී අනන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා රුසියාව ඇතුළු ලෝක බලවතුන් සහය පළ කර තිබෙනවා. රට තුළ නව ජාතික සමගි ආණ්ඩුවක් බිහිකළ යුතු බව කොෆී අනන් විසින් ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්. මීට පෙර සිරියාවට එරෙහි යෝජනා සඳහා සිය විරෝධය පළ කළ රුසියාව මෙම යෝජනාවට සහය පළ කරමින් ඉල්ලා සිටියේ සිරියාව තුළ රජය සහ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ රජයක් පිහිටුවිය යුතු බවයි. මෙම යෝජනාව ලබන සෙනසුරාදා රැස්වන ජගත් සංවිධානයේ සිරියාව පිළිබඳ කමිටුවේදී සාකච්ජා කරනු ඇති. මෙම යෝජනාවේ වැදගත් කරුණ වන්නේ ඉදිරියේදී පිහිටුවීමට සූදානම් වන ඒකාබද්ධ ආණ්ඩුවට වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද් එක්කර නොතිබීමයි.
මේ අතර, සිරියාව සහ තුර්කිය අතර දේශසීමාවට තුර්කිය විසින් ගුවන් යානා නාශක අවි යවා තිබෙනවා. පසුගිය සතියේ සිරියාව විසින් තුර්කියට අයත් එෆ්-ෆෝ ෆැන්ටඞ් වර්ගයේ ගුවන් යානයකට වෙඩි තැබීමෙන් පසුව ආරක්ෂක පියවරක් ලෙස තුර්කිය මෙම කි‍්‍රයාමාර්ගය ගෙන ඇති බව සඳහන්. කඩා වැටුණු ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
