ඊශ‍්‍රායලයේ හිටපු අගමැති ඉට්ෂාක් ෂමීර් මියයයි.
2012 ජූලි 01 ඉරිදා- පෙරවරු 11:48
ඊශ‍්‍රායලයේ දක්ෂිණාංශික සියොන්වාදී ලිකුත් පක්ෂයේ නායක ඉට්ෂාක් ෂමීර් වයස අවුරුදු 96 ක් ව සිටියදී ඊයේ මිය ගියා. පෝලන්තයේ උපත ලබා එවකට පලස්තීන දේශය ලෙස පැවති ඊශ‍්‍රායලයට පැමිණි ඉට්ෂාක් ෂමීර් මැදපෙරදිග යුදෙව් රාජ්‍යය පිහිටුවීමට පුරෝගාමී ලෙස කටයුතු කළ අයෙක්. ඔහුගේ මව සහ පියා පෝලන්තයේදී නාසිවාදීන් අතින් ජීවිතක්‍ෂයට පත්වුණා. යුදෙව් සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ ඔහු 1948 වසරේදී ඊශ‍්‍රායලය පිහිටුවීමෙන් පසු සුප‍්‍රකට මොසාඞ් රහස් ඔත්තු සේවාවට එක්වුණා. ඉක්ෂාත් සමීර් දේශපාලන කරලියට පිවිසුණේ 1970 දශකයේදීයි. 1983 - 84 වසරේදී සහ 1986 සිට 1992 දක්වා ඔහු ඊශ‍්‍රායලයේ අගමැතිවරයා ලෙස කටයුතු කළා. දෙවැනි වරට අගමැතිධූරයේ කටයුතු කරන විටයි ඔහු පලස්තීනුවන්ගේ නැගීසිටීම නොහොත් ඉන්ටිෆාඩාවට එරෙහිව හමුදාමය විසඳුමක් ක‍්‍රියාත්මක කළේ. මධ්‍යධරණී මුහුදේ සිට ජෝර්දාන ගංගාව දක්වා පැතිරුණු ඊශ‍්‍රායලයක් බිහිකිරීම හිටපු අගමැති ඉට්ෂාක් ෂමීර්ගේ අරමුණ වුණා.
