ළමා අපයෝජකයන්ට නීති දැඩි කරන්නැයි ඉල්ලීම්.
2012 ජූලි 04 බදාදා- පස්වරු 06:39
2003 වසරේදී වයස අවුරුදු 13 ක දැරියක් දෙවරක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවෙකුට කුරුණෑගල මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 40 ක සිරදඩුවම් නියම කළා. මෙසේ දඩුවම් නියමවූයේ කුලියාපිටිය - වීරඹුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි. 2003 වසරේ අගෝස්තු මාසයේ දින දෙකක් තුළ මෙම බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා දෙකක් යටතේ අධිචෝදනා ගොනු කර තිබුණා. ඒ අනුව එක් චෝදනාවකට වසර 20 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඩුවම් එකවර ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක බවද ප‍්‍රකාශ කළා. එමෙන්ම අපයෝජනයට ලක්වූ පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක්ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ගෙවීම පැහැර හැරියහොත් තවත් වසර දෙකක බරපතල වැඩසහිත සිර දඩුවම් නියමවන බවයි සඳහන් කළේ.
මේ අතර තංගල්ල නගරයේ සංචාරක හෝටලයක් තුලදී 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් පොලිසියට භාර වූ තංගල්ල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් පොලිසිය තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා. අද (04) පෙරවරුවේ මොවුන් නීතීඥවරයෙකු මාර්ගයෙන් තංගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත භාර වුණා. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකු පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය වෙත අද භාර වූ සැකකරුවන් හෙට දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් තංගල්ල බස් නැවතුම්පොල අසලදී අද දහවල් විරෝධතාවයක් ද පැවැත්වුණා.
ස්වාභිමානි කාන්තා සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට එක්ව සිටි පිරිස් ඉල්ලා සිටියේ මෙම දැරිය අපයෝජනයට ලක් කළ සැකකරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි.
එමෙන්ම, වයස අවුරුදු 14 ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අළුයම අත්අඩංගුවට ගනු ලැබූ අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ නියෝග කළේ සැකකරු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි. පසුගිය මැයි මාසයේදී සැකකාර ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් තාවකාලික ලැගුම්හලකදී මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
දිනෙන් දින වාර්තාවන ළමා අපයෝජන සිද්ධීන්වල පැහැදිළි අඩුවීමක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායකගෙන් විමසීමක් කළා.
