ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතා පළුදු කර ගන්න එපාලූ.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 07:41
ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති යුද්ධය පදනම් කරගෙන ඉන්දු - ලංකා සබඳතා පළුඳු නොකරන ලෙස ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු තමිල්නාඩු දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයෙකු වන නාරායනසාමි, පුඩුචෙරි හිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තමිල්නාඩු ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් රැසක් ශ‍්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර ස්ථාපිත කර ඇති බවයි. ඔවුන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව උදෙසා හෝ දෙමළ ජාතිකවාදී හැගීම් ඉස්මතු නොකළ යුතු බව නාරායනසාමිගේ මතයයි. ඔහු මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ තාම්බරන් ගුවන් කඳවුරේ දී මෙරට ගුවන් හමුදා භටයන් පුහුණු කිරීමට එරෙහිව මහඇමතිණී ජයලලිතා මතුකළ විරෝධය පිළිබද අදහස් දක්වමින්. ශ‍්‍රී ලංකාව සාක් සංවිධානයේ ද සාමාජිකයෙක්. එබැවින් ශ‍්‍රී ලංකාව සමග සුහද සබඳතාවක් පවත්වාගෙන යාම අවශ්‍යතාවක්. චීනය, ශ‍්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කිරීම ද සැලකිල්ලට ගත යුතු බවයි ඉන්දීය අමාත්‍ය නාරායනසාමි පෙන්වා දෙන්නේ. මෙරට දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ බලය බෙදා හැරීමක් මිස ඊලාම් රාජ්‍යයක් නොවන බවට ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම කළ ප‍්‍රකාශය ද ඔහු මෙහිදී සිහිපත් කළා.
