ශ‍්‍රී ලංකා ඒ - ද. අප‍්‍රිකානු ඒ 2 වැනි තරගය ජය පැරදුමෙන් තොරයි.
2012 ජූලි 10 අඟහරුවාදා- පෙරවරු 07:52
ශ‍්‍රී ලංකා ඒ කි‍්‍රකට් පිළ සහ දකුණු අප‍්‍රිකානු ඒ කණ්ඩායම අතර ඩර්බන්හි පැවැති දෙවැනි නිළ නොවන සිව් දින ටෙස්ට් තරගය ඊයේ (09) ජය පැරදුමකින් තොරව නිමා වුණා. දෙවැනි ඉනිමේ ලකුණු 349ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු ඒ පිළ තරගය අවසානයේ දී කඩුලූ 2ක් දැවී ලබා සිටියේ ලකුණු 130ක් පමණයි. පළමු ඉනිමේ දී ලකුණු 336ක් රැස් කළ ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවැනි ඉනිමේ දී කඩුලූ 5ක් දැවී ලකුණු 302ක් ලබා පන්දුවට පහරදීම අත්හිටවනු ලැබුවා. එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ ශ‍්‍රී ලංකා ඒ පිළේ නායක දිමුත් කරුණානායක නොදැවී ලකුණු 150ක් රැස් කළා. ඩිල්රුවන් පෙරේරා ලකුණු 51යි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 49යි. දකුණු අප‍්‍රිකානු ඒ පිළ මුල් ඉනිම සඳහා සියලූ ක‍්‍රීඩකයන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 290ක්. එහිදී කෝසල කුලසේකර කඩුලූ 3ක් බිඳ හෙළූ අතර සචිත‍්‍ර සේරසිංහ සහ ධම්මික ප‍්‍රසාද් කඩුලූ 2 බැගින් දවා ගත්තා. පළමු නිළ නොවන ටෙස්ට් තරගය ජය ගැනීම නිසා තරග දෙකකින් යුත් තරගාවලියේ ජයග‍්‍රහණය හිමි වන්නේ දකුණු අප‍්‍රිකානු ඒ පිළයි.
මේ අතර, සංචාරක පාකිස්තාන පිළ සහ ශ‍්‍රී ලංකාව අතර තුන් වැනි ටෙස්ට් තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ දී අද (10) උදෑසන යළි ආරම්භවීමට නියමිතයි. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (09) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට හැකි වූයේ නැහැ. පළමු දිනය අවසානයේ දී පාකිස්තානය මුල් ඉනිම සඳහා ලබාගත් ලකුණු 226ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව කඩුලූ 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා.
