විදේශ ව්‍යවහාර ගිණුම් නීති ලිහිල්වේ.
2012 ජූලි 11 බදාදා- පස්වරු 08:11
ඇතැම් විදේශ විනිමය ගණුදෙනු සම්බන්ධයෙන් නව මෙහෙයුම් ක‍්‍රියාමාර්ග අද සිට ක‍්‍රියාත්මක කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා. ඒ අනුව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර ගණුදෙනු සිදුකිරීමේදී මුදල් වර්ගය නොසලකා ගණුදෙනු සිදුකිරීමට අවසර හිමිවනවා. එය අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර, නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර සහ එම ගිණුම් වර්ග දෙඅංශයම අතර මුදල් හුවමාරු කිරීමේදී අදාළ වනු ඇති. කෙසේ වුවත් ශ‍්‍රී ලංකාව තුළ දේපළ විකිණීමෙන් ලැබෙන මුදල් අදාළ ගිණුම්වලට බැර කළ හැක්කේ පවතින රෙගුලාසිවලට අනුකූලව පමණයි. විදේශගත දෙමාපියන්ගෙන් බාලවයස්කරුවන්ට ලැබෙන මුදල් වෙනුවෙන් අනේවාසික හෝ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ආරම්භ කිරීමටද දැන් අවසර හිමිවන බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළේ. විදේශ විනිමය උපයන්නන් විසින් බැංකු පද්ධති තුළ පවත්වාගෙන යන ගිණුම් කිහිපයක් ඒකාබද්ධ කර තනි විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හඳුන්වා දීමටද මහ බැංකුව සූදානම් වනවා. එය නම් කර ඇත්තේ විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම වශයෙන්.
