මුස්ලිම් කොංග‍්‍රසයේ අර්බුදය විසඳේ. - හෙට අවබෝධතා ගිවිසුමකට.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 06:29
මෙවර පළාත් සභා මැතිවරණයේ දී නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය එක්ව තරග කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට හෙට (17) පෙරවරුවේ අත්සන් කිරීමට නියමිතයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී අද (16) මෙම තීරණයට එළැඹුනු බවයි. මුස්ලිම් කොංග‍්‍රසයේ විශේෂ උත්තරීතර මණ්ඩල රැස්වීමක් අද (16) පැවැත්වුණේ නැගෙනහිර පළාත් සභා මැතිවරණයට සන්ධාන අපේක්ෂක ලැයිස්තුව යටතේ තරඟ වැදීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය විසඳා ගැනීම සඳහායි. නැගෙනහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සකස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගැනීමේදී පක්ෂ මහ ලේකම් හසන් අලී එම ලිපිලේඛනවලට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. එම තත්ත්වයත් සමගයි මෙම මතභේදාත්මක තත්ත්වය උද්ගත වූයේ.
කෙසේ වෙතත් හෙට අත්සන් කරන අවබෝධතා ගිවිසුමේ මහඇමති අපේක්ෂකත්වය හෝ පළාත් සභා අමාත්‍ය ධුර සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් කර නොමැති බවයි මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රකාශකයා සඳහන් කළේ. සන්ධානය සමග එක්ව නැගෙනහිර පළාත් සභාවට තරග කරන්නේ නම් මහඇමති අපේක්ෂකත්වය, පළාත් සභා අමාත්‍ය ධුර දෙකක් සහ ප‍්‍රසාද මන්ත‍්‍රී ආසන දෙකෙන් එකක් තම පක්ෂයට ලබාදිය යුතු බවට මුස්ලිම් කොංග‍්‍රසය කොන්දේසි ඉදිරිපත් කර තිබුණා. එහෙත් හෙට අත්සන් කරනු ලබන ගිවිසුම් ප‍්‍රකාරව මුස්ලිම් කොංග‍්‍රසයට අම්පාරෙන් අපේක්ෂක ධුර 6ක්, ති‍්‍රකුණාමලයෙන් සහ මඩකලපුවෙන් අපේක්ෂක ධුර 3 බැගින් හිමි වනු ඇති. මේ අතර, නැගෙනහිර පළාත් සභාවට මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ධුර සංඛ්‍යාව සහ ඉදිරියේදී සන්ධානය සමග කටයුතු කරන ආකාරය පිළිබදව හෙට දිනයේ යළිත් වරක් රැස්වී සාකච්ඡා කිරීමට ද තීරණය කර තිබෙනවා.
