අපරාධ මැඬලීමට ජගත් සංවිධාන වැඩපිළිවෙලක්.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 06:37
ලොව පුරා පැතිර පවත්නා සංවිධානාත්මක අපරාධ මගින් එල්ල වන තර්ජනය පෙන්වා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ජගත් සංවිධාන මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්ධන කාර්යාලය පෙන්වා දෙන්නේ සංවිධානාත්මක අපරාධ මගින් ලොව පුරා උපයා ගන්නා මුදල වසරකට ඩොලර් බිලියන 870 ඉක්මවන බවයි. එය ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.5ක් හෝ ලොව පුරා වසරකදී සංසරණය වන සංවර්ධන ආධාරවල මුළු වටිනාකම මෙන් හය ගුණයක් ලෙස සැලකිය හැකියි. ජගත් සංවිධාන මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්ධන කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ යූරි ෆෙඩොටො කියා සිටියේ සංවිධානාත්මක අපරාධ ලොව සෑම කලාපයකට මෙන්ම සෑම රටකටම පැතිර ඇති බවයි. එම අපරාධ වැළැක්වීම ජාත්‍යන්තර ප‍්‍රජාව මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් ලෙස ඔහු හැදින්වූවා.
ජගත් සංවිධානය පෙන්වා දෙන පරිදි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වාර්ෂිකව උපයා ගන්නා මුදල ඩොලර් බිලියන 320ක් වන අතර, අනුකරණ නිෂ්පාදන මගින් උපයන මුදල ඩොලර් බිලියන 250ක්. සංක‍්‍රමණික සහ මිනිස් ජාවාරම මගින් ඩොලර් බිලියන 39ක් ද, ඇත් දළ සහ සත්ත්ව කොටස් ආදිය වෙළෙදාමෙන් ඩොලර් බිලියන 3.5ක් ලොව පුරා වාර්ෂිකව උපයා ගන්නා බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
